මුදල් අමාත්‍යංශ නිලධාරීන් ආණ්ඩුව වට්ටන වැඩ පිළිවෙලක


රාජිතගෙන් කැබිනට් රැස්වීමේදී දෝස්මුරයක්

(අජන්ත කුමාර අගලකඩ)  

මුදල් අමාත්‍යංශ නිලධාරින්ගේ ක්‍රියා කලාපය ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී රජයේ සම කැබිනට් ප්‍රකාශක හා සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න 
මහතාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ බව වාර්තාවේ.  

මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරින් ආණ්ඩුව වට්ටන තැනට වැඩ කරන බවටද රාජිත සේනාරත්න ඇමැතිවරයා එහිදී චෝදනා කර ඇති බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.  


එහිදී මුදල් අමාත්‍යංශයේ නිලධාරින් වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිට ඇති මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා තමා අවුරුදු විසි ගණනක් තිස්සේ ඇමැතිකම් දරා ඇති බවත් තමන්ට හමුවූ හොඳම නිලධාරින් පිරිසක් මුදල් අමාත්‍යංශයේ සිටින බවත් සඳහන් කර ඇතැයි වාර්තාවේ.  


මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් ඇතිවූ සාකච්ඡාවක් අතර වාරයේදී ඇමැතිවරුන් දෙදෙනා අතර මෙම වාදය හටගෙන ඇතැයි ද එම ආරංචිමාර්ග කියයි.  


ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ක්‍රියාත්මක කිරීම සඳහා තමා 2015 දී මුදල් අමාත්‍යංශයට දුන් ආයෝජන ව්‍යාපෘති 48ක් ක්‍රියාත්මක නොකර මුදල් අමාත්‍යංශය කල් මරමින් සිටින බවට රාජිත සේනාරත්න ඇමැතිවරයා මීට මාසයකට පමණ ඉහතදී ද චෝදනා කර තිබිණි.