මිනුවන්ගොඩ කොරෝනා පොකුර 3000 ඉක්මවයි


(දයාසීලි ලියනගේ)  

මිනුවන්ගොඩ කොරෝනා පොකුර මේ වන විට 3000 ඉක්මවා ඇති බව වාර්තා වේ.  


කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ හා තවත් කර්මාන්ත ශාලා 28කින් 358 දෙනකුම කොරෝනා රෝගීන් බවට වාර්තා වී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සඳහන් කර ඇත.  

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 182 ක් වී තිබූ අතර මෙම වෙළෙඳ පොළ හා සම්බන්ධ දෙවන පෙළ තුන් වන පෙළ ආශ්‍රිතයන් සංඛ්‍යාව 2500 ඉක්මවනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාස කරයි. දැනටමත් ආශ්‍රිතයන් 1500 කට අධික පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවලට හා ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.  


මහරගම, කහවත්ත, කඩුවෙල, දෙහිවල, ගාල්ල, බේරුවල මත්ස්‍ය වෙළෙඳ සල්වලින් මේ වනවිටත් ආසාදිතයන් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.  


පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 14ක් වී ඇත. අවසන් වරට මියගියේ කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පනස් හැවිරිදි කාන්තාවකි.  


 කොරෝනා වසංගත තත්ත්වය මත ගම්පහ, කෑගල්ල, කොළඹ, කුරුණෑගල හා කළුතර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ 52ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හෝ හුදකලා ප්‍රදේශ බවට පත්කර ඇත. මේ අතර වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කර ඇති පරිදි ගිය සිකුරාදා වනවිට රෝගීන් 2297 ක් රෝහල්ගත කර සිටිති.  
මේ අය රෝහල් 23ක ප්‍රතිකාර ලබති.