මැයි මාසයේ උද්ධමනය දසමයකින් අඩුවෙලා!


(උපුල් වික්‍රමසිංහ)  

ඉකුත් අප්‍රේල් මාසයේදී පැවති සියයට 3.6ක් වූ උද්ධමන අගය පසුගිය මැයි මාසයේදී සියයට 3.5 දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව තොරතුරු හෙළි කරයි.  

කෙසේ වෙතත් වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2019 අප්‍රේල් මාසයේදී වාර්තා වූ සියයට 3.7 සිට මැයි මාසයේදී සියයට 4.0 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති එම වාර්තාවෙහි දැක්වෙයි.  


පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ දී මාසික උද්ධමනය පහළ අගයක් ගෙන ඇති නමුත් මාසික වෙනස්වීම් සලකා බැලීමේදී ආහාර හා ආහාර නොවන අයිතමවල මිල ගණන් මැයි මාසයේදී ඉහළ ගොස් ඇතැයි සඳහන් කරන එම වාර්තාව වැඩිදුරටත් සංඛ්‍යා ලේඛන ගෙනහැර දක්වමින් පවසන්නේ ආහාර කාණ්ඩය යටතට වැටෙන කිරිපිටි, එළවළු, මාළු, දෙහි, අර්තාපල් ආදියෙන් ආහාර නොවන අයිතමයන් යටතට ගැනෙන ප්‍රවාහන, සෞඛ්‍ය සහ විනෝදාත්මක හා සංස්කෘතික උපකාණ්ඩයන්හිත් මිල ගණන් මැයි මාසයේදී ඉහළ ගොස් ඇති බවය.