මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතක්


(දයාසීලි ලියනගේ)   
මැතිවරණයකදී ඡන්ද අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.   

මේ සඳහා සකස් කරන ලද පනත් කෙටුම්පත මැතිවරණ කොමිසම මගින් නීති කෙටුම්පත් අංශයට යොමු කර ඇත.   


මැතිවරණ කොමිසමේ නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේ දී ප්‍රකාශ කළේ පළාත් පාලන, පළාත් සභා හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වෙන ඕනෑම අපේක්ෂකයෙක් මෙම පනතට අදාළව මැතිවරණ කාලයේදී වැය කරන මුදල් සඳහා වෙනම ගිණුමක් ආරම්භ කළ යුතු බවයි.   


මැතිවරණයකදී යොදවන මුදල් සම්බන්ධව සීමා පනවනු ලබන්නේ ඡන්ද ප්‍රතිඵල විකෘති කිරීම වැළැක්වීමට හා ඡන්දයට වටිනාකම ලබාදීමත්, සියලු අපේක්ෂකයන්ට සාධාරණයක් ලබාදීම සඳහා බවත් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.   


මැතිවරණයකදී අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල ප්‍රකාශිත මුදල් හා බලය ලත් මුදල් වශයෙන් පක්ෂයෙන් හා ඡන්දදායක සංඛ්‍යාව අනුව නිශ්‍චිත කරනු ඇතැයි ද නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා මහතා කීය.   


අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා ජනතාවට ප්‍රසිද්ධ කළයුතු වන අතර, ඒවා නොසලකා හරින අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ඔහු කීය.