මැතිවරණ නීති කැඩූ අපේක්ෂක 14ක් මාට්ටු


(මහින්ද නිශ්ශංක)   
මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් 14 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 

පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධව ඒ ඒ පළාත් පාලන බලප්‍රදේශවල දී අත්අඩංගුවට ගනු ලැබූ මෙම ඡන්ද අපේක්ෂකයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල ප්‍රකාශකයෙක් පැවැසීය.


මෙම අපේක්ෂකයන් අතර ප්‍රධාන පක්ෂවලින් මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් ද වෙතැයි ද එම ප්‍රකාශකයා කීය. 


පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ මෙම ඡන්ද අපේක්ෂකයන් 14 දෙනාගෙන් 8 දෙනකු, පහරදීම්, තර්ජනය කිරීම් හා බැණවැදීම් සම්බන්ධව ලැබුණු පැමිණිලි මත අත්අඩංගුවට ගෙන ඇති අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව අපේක්ෂකයන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. 


නීති විරෝධි පෝස්ටර් ඇලවීම, කටවුට් ප්‍රදර්ශනය කිරීම, අත්පත්‍රිකා බෙදාහැරීම්, ශබ්ද විකාශන යන්ත්‍ර සවිකළ වාහන පැදවීම යනාදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ වනවිට ඡන්ද අපේක්ෂකයන් ඇතුළු පුද්ගලයන් 92 දෙනෙකු ද මැතිවරණ පැමිණිලි පිළිබඳව අපේක්ෂකයන් 8 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 96 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.