මැතිවරණ නීති කැඩුවොත් වසර 7 කට සිවිල් අයිතිවාසිකම් අහෝසියි


මැතිවරණ කොමිසම 

(දයාසීලි ලියනගේ) 

මැතිවරණ නීති උල්ලංඝනය කරන අපේක්ෂකයන් අධිකරණයෙන් වැරදිකරුවන් බවට ඔප්පු වුවහොත් දඬුවමට අමතරව වසර 7 ක කාලයක් සිවිල් අයිතිවාසිකම් අහිමි කිරීමේ නීතිය යළි බලාත්මක කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. 

විධායක ජනාධිපති ධුර ක්‍රියාත්මක වීමත් සමග මෙම නීතිය අක්‍රිය විය. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ මෙම නීතිය ක්‍රියාත්මක වන නිසා, මැතිවරණ නීති උල්ලංඝනය නොකරන ලෙසට සියලු අපේක්ෂකයන්ට ලිඛිතව හා වාචිකව උපදෙස් දී ඇති බවයි. මැතිවරණ නීති උල්ලංඝනය වීමේ සිද්ධි පිළිබඳව පසුවිපරම් කිරීමට කොමිසම තීරණය කර ඇති බැවින් ඡන්දයෙන් පසුවත් එවැනි සිදුවීම් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බව ද ඒ මහතා කීය. ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි අධිකරණය දක්වා ගෙන යන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.