මැතිවරණ නීති කඩකර වැවිලි සංගම් රැකියා දීලා?


(පද්මිණි මාතරගේ)  

මැතිවරණ කොමසාරිස් විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ හලාවත වැවිලි සමාගම පෙර ද‌ාතම් යොද‌ා නිලධාරින් බඳවා ගැනීම් සහ උසස් වීම් ලබා දෙන බව ලංකා වතු සේවා සංගමය චෝදනා කර සිටී.

මේ පිළිබඳව තොරතුරු රැසක් සිය වෘත්තිය සංගමයට ලැබී තිබෙන බවත් වහාම මෙම අනීතික ක්‍රියාමාර්ගය නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමින් සිය සංගමය රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිත දැනුම් දීමක් කළ බව එම වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් නාත් අමරසිංහ මහතා ඉරිද‌ා ලංකාදීපයට පැවැසීය. 


මේ සම්බන්ධයෙන් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති කපිල යකන්ද‌ාවල මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පවසා සිටියේ එවැනි බඳවා ගැනීම් හෝ උසස් වීම් ලබා දීමට ක්‍රියා නොකළ බවත්, මෙය පදනම් විරහිත චෝදනාවක් බවය.