මැතිවරණ නීතිවලින් ඡන්දෙ කරන්න බෑ පක්ෂ ගණනාවකින් කොමිසමට පැමිණිලි


(අජන්ත කුමාර අගලකඩ)  

මැතිවරණ කොමිෂන් සභාව විසින් පනවන ලද දැඩි නීතිරීති යටතේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කරගෙන යා නොහැකි බව මෙවර මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ ගණනාවක් මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.  

අපේක්ෂකයන්ගේ කාර්යාලවල අපේක්ෂකයාගේ ඡායාරූපය හෝ මනාප අංකය ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදීමෙන් සිය මනාප අංක ඡන්දදායකයන් අතරට ගෙනයාම පවා ගැටලුවක් වී ඇතැයි එම පක්ෂ දැනුම් දී ඇත.  මෙවර මහ මැතිවරණයේ දී මැතිවරණ නීති තදින්ම ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව මැතිවරණ නිලධාරීන්ට හා පොලිසියට උපදෙස් දී ඇත.  


අපේක්ෂකයන්ගේ කාර්යාලවල පක්ෂයයේ නම දැක්වෙන කටවුට් හැර වෙනත් කිසිවක් ප්‍රදර්ශනය කිරීමට අවසර නැති අතර අපේක්ෂකයන්ගේ ඡායාරූප සහ මනාප අංක ප්‍රදර්ශනය ද තහනම් කර ඇත. 

 
ඡන්ද රැස්වීම්වලට සහභාගි කරවා ගත හැකි පිරිස 100කට සීමා කර ඇති අතර පක්ෂ නායකයන් සහභාගි වන රැස්වීම් සඳහා පමණක් ගෙන්වා ගත හැකි පිරිස 500කට සීමා කර ඇත.  


මේ තත්ත්වය තුළ යහමින් වියදම් කළ හැකි අපේක්ෂකයන්ට පමණක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනතාව අතරට යා හැකි නමුත් මුදල් වියදම් කළ නොහැකි අපේක්ෂකයන්ට එමගින් අසාධාරණයක් වන බව ද දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවට දන්වා ඇත.  
මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර ඇති නමුත් මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නැතැයි දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයෝ ඉරිදා ලංකාදීපයට පැවැසූහ.  
අපේක්ෂකයන්ගේ මෙම ගැටලුව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමු කර සාධනීය පියවරක් අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔවුහු සඳහන් කළහ.  
මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියකු සඳහන් කළේ 1981 සම්මත වූ මහ මැතිවරණ පනතේ සඳහන් නීති හා රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කෙරෙන මැතිවරණය මෙය බවය.  


මැතිවරණ කොමිෂන් සභාව අද (28) රැස්වීමට නියමිත අතර ඡන්දය භාවිත කිරීමට ලබාදෙන කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගනු ඇතැයි ද එම නිලධාරියා කීවේය.