මාලි ත්‍රස්ත බෝම්බෙන් අපේ හමුදාවේ දෙදෙනෙක් මරුට


(ඉන්දිකා රාමනායක)  

සාම සාධක කටයුතු සඳහා බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යයට ගොස් සිටින ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් පිරිසක් ගමන් ගත් රථ පෙළක් ඉලක්ක කරගෙන ඩුවෙන්ටා (Douentza) ප්‍රදේශයේ සිකුරාදා (25) පෙරවරු 6.30ට පමණ සිදුකළ බෝම්බ පිපිරවීමකින් යුද හමුදා කපිතාන්වරයකු සහ කෝප්‍රල්වරයකු මියගොස් තවත් හමුදා සෙබළුන් දෙදෙනකු තුවාල ලබා ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවැසීය.  

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පාබළ හමුදාවේ කපිතාන්වරයකු වන එච්.ඩබ්ලිව්. ජයවික්‍රම සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල්වරයකු වූ විජේකුමාර නමැති දෙදෙනා බවට හඳුනාගෙන ඇත.   


හමුදා රථ පෙළ ඩුවෙන්ටා කාන්තාර ප්‍රදේශයේ මෙහෙයුමක නිරතවෙමින් සිටියදී එක් රථයක් මෙලෙස බෝම්බයකට හසුව ඇති අතර එම බෝම්බය දුරස්ථ පාලකයක් මගින් පුපුරුවා හැර ඇති බවද හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය.  


සිද්ධියෙන් තුවාල ලැබූ හමුදා සාමාජිකයන් දෙදෙනා රෝහල් ගත කර ඇත.  


බෝම්බය පිපිරීමෙන් තවත් හමුදා සන්නද්ධ රථයකට හානි සිදුව ඇති බවද හමුදාව කියයි.  


2018.03.30 වැනි දින ශ්‍රී ලංකා හමුදා රථ පෙළක් ඉලක්ක කර කිලෝ 38ක අධිබලැති බෝම්බයක් පිපිරවීමට උත්සාහ ගත් ත්‍රස්තවාදියෙක් හමුදාව විසින් එම බෝම්බය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.