මාරයා අරක්ගත් සතියක්


ජීවිතයක් මිල කළ නොහැකියි. සතකු සිව්පාවෙකු වුවද මහ මඟ මිය ගියහොත් එයින් දැනෙන ශෝකය ඇතමෙකුට ඉවසා දරා ගත නොහැකිය. මනුෂ්‍ය ජීවිතයක අගය නොදත් අය අතට වාහනයක් ලැබුණහොත් ඔවුන්ට තමන්ගේ ජීවිතය හෝ වෙනත් කෙනෙකුගේ ජීවිතය පිළිබඳ තැකීමක් හෝ වටිනාකමක් මැන බැලිය නොහැක. බොහෝ දෙනෙකු මෙසේ අයාලේ මියයන්නේ තමන්ගේම ක්‍රියාකලාපය හේතුවෙනි. නොසැලකිලිමත්ව රිය පැදවීම, වාහනය පැදවීමේදී නින්ද යාම, ඉවසීමක් නොමැතිකම ආදිය බොහෝ රිය අනතුරුවලට හේතු වී තිබේ.


මෙසේ අකාලේ නැති වන්නේ වටිනා ජීවිත බව කිසිවෙකුත් නොතකති. ඇතැම් විට අනාගතයේදී ඔවුහු රාජ්‍ය නායකයන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයන් වැනි ඉහළ ක්ෂේත්‍රවලට පිය නගන්නට සිහින දුටුවෝ වෙති. එහෙත් ඇසිපිය ගසන සැණින් මෙසේ වටිනා ජීවිත විනාශවීම ඇත්තටම රටේ අවාසනාවට සිදුවන්නකි.


මේ වසර ආරම්භයේ සිට දිවයිනේ විවිධ පළාත්වලින් විවිධ අනතුරු වාර්තා විය. ඉන් ජීවිත හානි වූවන් මෙන්ම සදාතනික රෝගීන් බවට පත්වූවන් රැසක් බව පොලිසිය පවසයි. මරුවා කැඳවා ගෙන යන අවස්ථාව කිසිවෙකුටත් කිව නොහැක. එහෙත් යම් තරමින් හෝ ඉවසීමක් මෙන්ම කල්පනාකාරී බවක් තිබුණේ නම් ජීවිත කිහිපයක් හෝ බේරා ගැනීමට ඉඩ තිබුනි. එහෙත් තමන් ගෙනා ආයුෂ අවසන් වූ විට කෙසේ හෝ අවසන් ගමන යා යුතුය.


පසුගිය මාර්තු 24 වනදා සිට අප්‍රේල් 04 දක්වා ගතවූ දින 11ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ අනතුරු සංඛ්‍යාව 27කි. මෙම අනතුරුවලින් ජීවිතක්ෂයට පත්වූ වටිනා ජීවිත සංඛ්‍යාව 20 කි. තුවාල ලැබූ ගණන 96ක් බව පොලිසිය ප්‍රකාශ කරයි.


බීමතින් රිය පැදවීමේදී සිදුවන අනතුරු ද ඉහළ ගොස් තිබුණ ද සෑම විටම පොලිසිය අවධානයෙන් සිටින නිසා බීමතින් රිය පැදවීමට රියදුරන් දැන් පෙළඹීම අඩු යැයි පොලිසිය පවසයි. කෙසේ වෙතත් දැඩි ලෙස තෙහෙට්ටුවට පත්වී දින ගණනක් නිදිවරා සිට රථවාහන පැදවීම පසුගිය සතියේ සිදු වූ අනතුරුවලට ප්‍රධාන හේතුවක් විය.


පසුගිය සතියේ සිදුවූ දරුණුතම සිදුවීම වාර්තා වුණේ ගලේවෙල ප්‍රදේශයෙනි. එකම පවුලේ සිව් දෙනෙක් එම අනතුරින් ජීවිතක්ෂයට පත්වූහ. දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේ දී 02 දා අලුයම ත්‍රිරෝද රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. මොවුන් ගම්පහ වතුපිටිවල පදිංචිකරුවන් වූ අතර මෙම පිරිස කන්තලේ 85 කොටසේ සිට වතුපිටිවල සිය නිවස බලා පැමිණෙමින් සිටියදී මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කරා ගමන් කරමින් තිබූ ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බව පොලිසිය පැවසීය.


ත්‍රිරෝද රථය පදවා ඇත්තේ එම පවුලේ වැඩිමහල් පුත්‍රයා වන බවත් ඔහුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.


වැලිමඩ - නුවරඑළිය මාර්ගයේ කැප්පෙටිපොළ ප්‍රදේශයේ 31 දා සිදුවූ රිය අනතුරකින් එක් අයකු ජීවිතක්ෂයට පත්වූ බව වැලිමඩ පොලිසිය පැවසීය. පා ගමනින් ගමන් කළ මෙම පුද්ගලයා, කැප්පෙටිපොළ - දඹගල්ල ප්‍රධාන මාර්ගයේදී අතුරු මාර්ගයක ගමන් කළ ලොරියක හැපී ජීවිතක්ෂයට පත්ව ඇත.


දිවුලපිටිය පරණ හන්දිය - නාවාන මාර්ගයේ කෝපිවත්ත ප්‍රදේශයේදී 1 වනදා සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ටිපර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.


මියගියේ යතුරුපැදිය පැදවූ තිදරු මවකි.


මුතූර් සිට පුත්තලම දෙසට ගමන් කළ ත්‍රි​රෝද රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූවාය. එහිදී මියගියේ මුතුර් හි විසූ කාන්තාවකි. අනතුරින් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.


අනුරාධපුරය නගරය අවට සිදුවූ අනතුරු කිහිපයකින් ගිය මස 28 සහ 29 දිනවල එක් අයකු මිය ගොස් තවත් 07 දෙනෙකු තුවාල ලැබූ බව අනුරාධපුර පොලිසිය පවසයි.

 

 

අනුරාධපුර නිවන්නකචේතිය මාර්ගයේ ඉන්ධන තොග ගබඩාව ඉදිරිපිටදී ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රි​ෙරා්ද රථයේ රියැදුරු මෙසේ මිය ගියේය. අනුරාධපුර - ගුවන් තොටුපොළ මාර්ගයේ වාරිමාර්ග කාර්යාලය අසලදී පෞද්ගලික බස් රථයක් හා යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පියකු හා ඔහුගේ 11 හැවිරිදි දියණිය තුවාල ලබා ඇත. මීට අමතරව අනුරාධපුර නව නගරයේදී හා අනුරාධපුර තලාව මාර්ගයේ සිදුවූ අනතුරු කිහිපයකින් තවත් පස්දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.


බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ හාලිඇළ 6 කණුව ආසන්නයේ සිදුවූ අනතුරකින් එක් අයකු මියගොස් ඇත. බස් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදිකරු මෙසේ මියගිය බව හාලිඇළ පොලිසිය පවසයි.
පානදුර ප්‍රදේශයේ ස්ථාන දෙකකදී සිදුවූ අනතුරු දෙකකින් 27දා රාත්‍රී පුද්ගලයන් දෙදෙනෙක් මියගියහ. මියගිය අය 21 හැවිරිදි සහ 31 හැවිරිදි දෙදෙනෙකු බව පානදුර පොලිසිය පවසයි.


රත්නපුර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් 31 වනදා පාරෙන් ඉවතට පැන කළුගල් පර්වතයක ගැටීමෙන් එකම පවුලේ 05 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් දෙදෙනෙක් ද වෙති.


බදුල්ල - මහියංගණය මාර්ගයේ තල්දෙන 05 කණුව ප්‍රදේශයේදී 29 වනදා සිදුවූ අනතුරකින් 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඔවුන් ගමන් ගත් කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් බරපතළ තුවාල ලැබූ ඔවුන් සිව්දෙනා රෝහල් ගත කළ බව බදුල්ල පොලිසිය පවසයි.


දික්වැල්ල නගරයේ ත්‍රිරෝද රථයක කාන්තාවක් ගැටීමෙන් ඇය ජීවිතක්ෂයට පත්වූ බව දික්වැල්ල පොලිසිය ප්‍රකාශ කළේය. මෙ​ෙස් මියගොස් ඇත්තේ 48 හැවිරිදි චීන ජාතික කාන්තාවකි. මේ අතර බද්දේගම මද්දේවිල ප්‍රදේශයේදී 26 වනදා බැකෝ යන්ත්‍රයක් පෙරළී යෑමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ. බැකෝ යන්ත්‍රය ගල්කොරියක් වෙත ධාවනය කරමින් සිටියදී බෑවුමකට පෙරළීයාමෙන් මෙම අනතුර සිදුවූ බව පොලිසිය පැවසීය.


කොස්ගම බොල්ලතාව ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්වූ බව කොස්ගම පොලිසිය පවසයි. මියගියේ 22 හැවිරිද තරුණයෙකි. අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය.

කැස්බෑව ආවාස ප්‍රදේශයේදී හා මහියංගණ ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ නිදහන්ගල මංසන්ධිය අසලදී සිදුවූ රිය අනතුරු දෙකකින් තුන් දෙනෙකු තුවාල ලබා ඇත. 24 වනදා එක් අනතුරක් සිදුවූයේ කැස්බෑව ආවාස පෙදෙසේ හරස් මාර්ගයකදී මෝටර් රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙනි. ලොරි රථයේ ගමන් කළ රියැදුරා සහ එහි ගමන් ගත් අයෙකු මෙසේ බරපතළ ලෙස තුවාල ලබා ඇතැයි පිළියන්දල ​ෙපාලිසිය පැවසීය.
මේ අතර මහිංයගණ ගිරාඳුරුකෝට්ටේ නිදහන්ගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු තුවාල ලබා ඇත. යතුරුපැදියක් හා කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර තුවාල ලබා ඇත්තේ යතුරුපැදිකරු බව මහියංගණ පොලිසිය පවසයි.


පුද්ගලයන් 20 දෙනෙකුට තුවාල සිදුකරමින් පසුගිය 26 වනදා තවත් අනතුරක් වාර්තා වුණේ දිඹුල ප්‍රදේශයෙනි. නාවලපිටියේ සිට තලවකැලේ දක්වා ධාවනය වූ බස් රථයක් ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී ප්‍රධාන මාර්ගයේදීම පෙරළී යාමෙන් මෙම අනතුර සිදුවිය. දිඹුල මවුන්ට්වර්නන් ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුර බස් රථය පාලනය කරගැනීමට රියදුරුට නොහැකි වූ නිසා වූවක් බව දිඹුල පොලිසියේ විශ්වාසයයි.
වෙන්නප්පුව, හැටන්, මස්කෙළිය, කිරුළපන හා තලවකැලේ යන ප්‍රදේශවලදී 25 වනදා සිදුවූ රිය අනතුරු 05කින් 18 දෙනෙකු තුවාල ලබා ති​ෙබ්. වෙන්නප්පුව පොලිසිය කීවේ මීගමුව - කුරුණෑගල තඹරවිල ප්‍රදේශයේදී එක් අනතුරක් සිදුවූ අතර එහිදී සිවු දෙනෙකු තුවා ලැබූ බවයි. මෝටර් රථ 2ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

සාංචිමලේ හැටන් මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් එහි ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි හැටන් පොලිසිය පවසයි. හැටන් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කුඩා මස්කෙළිය ප්‍රදේශයේදී තවත් අනතුරක් 26 වනදා සිදුවූ අතර එහිදී එක් අයෙකු තුවාල ලබා ඇත. පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ. මෙම රථයේ රියදුරාද තුවාල ලැබීය.


නාරාහේන්පිට වැල්ලවත්ත මාර්ගයේ ධාවනය වූ බස් රථයක් 26 වනදා උදෑසන මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 06 දෙනෙක් තුවාල ලැබූහ. රොබට් ගුණවර්ධන මාවත අසලදී එහි ඇතිවූ කාර්මික දෝෂයක් නිසා මෙම අනතුර සිදුවී ති​ෙබ්. බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ඒ අසල මාර්ගයේ නවතා තිබූ වාහන පහක ගැටී ඇතැයි කිරුළපන පොලිසිය පැවසීය.


මේ අතර හැටන් - නුවරඑළිය මාර්ගයේ තලවකැලේ සෙන්ට්ක්ලේයාර් ප්‍රදේශයේ (26) සිදුවූ යතුරුපැදි අනතුරකින් 03 දෙනෙකු තුවාල ලබා ඇත. යතුරුපැදි දෙක එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බව තලවකැලේ පොලිසිය පවසයි.


හලාවත, ආරච්චිකට්ටුව, හැළඹවටවන ප්‍රදේශයේ 03 වනදා සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 28 දෙනෙක් තුවාල ලැබූහ. බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. තුවාල ලබා ඇත්තේ ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසකි.


මේ අතර බණ්ඩාරගම - කඹුරුගොඩ ප්‍රදේශයේදී කැබ් රථයක්, වෑන් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. වෑන් රථයේ රියැදුරු ද දැඩි කම්පන තත්ත්වයෙන් රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය පැවසීය.


මෙම සිද්ධීන් පිළිබඳ මෙසේ වාර්තා කළේ තවත් මෙවැනි අනතුරු ඇති නොවීමට රියදුරන්ගේ අවධානය යොමු කරවීමටයි. සෑම ප්‍රධාන මාර්ගයකම අනතුරු බහුලව සිදුවිය හැකි ප්‍රදේශ බව දැනුම්වත් කිරීමේ දැන්වීම් පුවරු සවි කර තිබේ. ඊට අමතරව ‘මාර්ගය ලිස්සන සුලුය’ දැක්වෙන දැන්වීම් ද සවිකර ඇත. ‘අනතුරු බහුල ප්‍රදේශයකි’ යනුවෙන් ද දැන්වීම් ද සවිකර ඇත්තේ රියදුරන්ගේ මෙන්ම මගීන්ගේ ද ජීවිතාරක්ෂාව සඳහායි.


එහෙත් එවැනි දේ ගණන් නොගෙන තම වාහනයේ සුක්කානම අතට ගත් පසු වීරයන් මෙන් ගමන් කරන රියැදුරන් නිසා බොහෝ අනතුරු සිදුවෙයි. ඇතැමුන් සිතන්නේ මාර්ගය තමන් සතු බවයි. මේ නිසා දැන්වත් කල්පනාකාරීව, අවධානයෙන්, ජීවිතවල වටිනාකම ගැන නෙත් සිත් යොමු කොට රිය පැදවීමෙන් අනතුරු වළකා ගනිමු.

 

 

 

 

 

නිශාන්ත කුමාර බණ්ඩාර