මාතර බෙලිඅත්ත දුම්රිය මග ප්‍රමිතියෙන් තොර බවට චෝදනා


 

(දයාසීලි ලියනගේ)  

මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම පිළිබඳව නිසි විමර්ශනයක් කරන ලෙසටත් නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම් කර ඇත්නම් දුම්රිය මාර්ගය බාර නොගන්නා ලෙසටත් මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් දී ඇත.  මෙම දුම්රිය මාර්ගය සඳහා සංඥා පද්ධතියක් ඉදිකර නොමැති අතර අලුතෙන් ඉදි කරන ලද පාලමක් පුපුරා ඇති බව හෙළි වී ඇත. අලුතෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ලක සිවිලිම කඩා වැටී ඇති බව ද අනාවරණය වී ඇති නිසා මෙම මාර්ගය ඉදිකිරීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව ඇමැතිවරයා පෙන්වා දී ඇත.  


මෙම හේතු නිසා විධිමත් විමර්ශනයකින් තොරව මෙම මාර්ගය පවරා නොගන්නා ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවක දී ඇමැතිවරයා උපදෙස් දී ඇත.  


චීන සමාගමක් මගින් මෙම දුම්රිය මාර්ගය ඉදිකරනු ලබන අතර ඔවුන් මීට පෙර දුම්රිය මාර්ග ඉදිකිරීම පිළිබඳ අත්දැකීම් ඇති ආයතනයක් නොවන බව අනාවරණය වී ඇති බව ද මෙහිදී ප්‍රකාශ වී ඇත.  


මෙම මාර්ගය ඉදිකිරීම් කටයුතු 2016 වර්ෂයේ දී අවසන් වීමට නියමිත තිබුණි.  


මේ අතර මාතර - බෙලිඅත්ත දුම්රිය ඉදිකිරීම් මාර්ගයේ ඉඩම් කැබලි 48ක් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියකු තෑගි ඔප්පුවක් ලෙස ලියාගෙන ඇති බව වාර්තා වේ.  
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ මෙම සිද්ධිය පිළිබඳව සොයා බලන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයේ ඉඩම් අංශයට පැවරූ බවයි.   
මෙම වංචාව කරන ලද නිලධාරියා පිළිබඳව වහාම සොයා බලන ලෙසට ද නියම කළ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.