මහීපාල අයින් කරන යෝජනාවට ඇමැති සෙනෙවිරත්න විරුද්ධවෙයි


(අජන්ත කුමාර අගලකඩ) 
සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතා රඹුක්කන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරන ලෙසට එම පළාතෙහිම දේශපාලනඥයකු කර ඇති  යෝජනාවකට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ද වන කම්කරු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා දැඩි විරෝධය පළකර ඇතැයි වාර්තා වේ. 

මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප මැයි දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට  ශ්‍රීලනිප මැයි දින කමිටුව ගිය සතියේ රැස්වූ අවස්ථාවේදී සබරගමුව පළාතේ දේශපාලනඥයකු මෙම යෝජනාව කර ඇති අතර ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න ඇමැතිවරයා ඊට දැඩි විරෝධය පළ කරමින් අදහස් දක්වා ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. 


මහීපාල හේරත් මහතා රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරන ලෙසට ගෙනා යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද අනුමැතියක් ලැබී නැතැයි වාර්තා වේ. 


ශ්‍රීලනිප මැයි දින කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 18 වැනිදා කොළඹ පිහිටි ජනාධිපති නිල නිවසේදී රැස්විය.