මහින්දගේ ආරාධනාව අතටම බාර දුන්නා


(අජන්ත කුමාර අගලකඩ)  
බොරැල්ල කැම්බල් පිටියේ අද (03) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සර උළෙලට සහභාගිවීම සඳහා පක්ෂයේ අනුශාසක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට...

ආරාධනා පත්‍රය පක්ෂ මූලස්ථාන නියෝජිතයකු ඉකුත් බ්‍රහස්පතින්දා නිවෙසට ගොස් අතටම බාරදුන් බව ශ්‍රීලනිප මහලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.  


මීට අමතරව, ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ ආරාධනා පත්‍රද එදිනම ‘‘කූරියර්’’ කර යැවූ බව ඔහු සඳහන් කළේය.  
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරය බොරැල්ල කැම්බල් පිටියේදී අද (3) පස්වරුවේ පැවැත්වෙන්නේ ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.  


ඔවුන්ට මෙසේ ආරාධනා පත්‍ර යැවූවේ දෙවැනි වරට බවද ඇමැති දිසානායක මහතා කීවේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සංවත්සර උළෙලට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන බව කී මහලේකම්වරයා එතුමා වෙනුවෙන් ජනාධිපතිවරයාගේ අසුනට යාබද අසුනක් වෙන්කර ඇති බව සඳහන් කළේය.  


ශ්‍රීලනිප සංවත්සර උළෙලට සහභාගිවීමට ආරාධනා පත්‍ර ලැබුණේදැයි ‘ඉරිදා ලංකාදීප’ය ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ඩලස් අලහප්පෙරුම මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ‍ සිකුරාදා දහවල් වනතුරුම ආරාධනා පත්‍ර නොලැබුණු බවය.  


ආරාධනා පත්‍ර ලැබුණත් සංවත්සර උළෙලට සහභාගි වන්නේ එජාපය සමග ගෙනයන හවුල් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉවත්වීමට ඉඩ දෙන බවට යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂයට ඉඩ දෙන්නේ නම් පමණක් බවද අලහප්පෙරුම මහතා පැවැසීය.