මහා පරිමාණ වී මෝල් හිමියන් සහල් හංඟලා


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

වෙළෙඳපොළේ සහල් හිඟයක් මවාපෑමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වෙළෙඳපොළ ආරංචි 
මාර්ග පවසයි.  


වී මෝල් හිමියන් සහ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් විසින් සහල් තොග සඟවා වැඩි මිලට අලෙවි කිරීම නිසා මෙසේ ව්‍යාජ ලෙස සහල් හිඟයක් මවාපෑමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.  

කොවිඩ් 19 වයිරසය ව්‍යාප්තවීමත් සමග වෙළෙඳපොළේ සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් වැඩි කිරීමට වෙළෙඳුන් කටයුතු කළ නිසා සහල්, පරිප්පු, සැමන් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයක් සඳහා රජය පාලන මිලක් පැණවීය.  


එහෙත් එය තාවකාලිකව ඉවත් කර ඇති බව කියමින් ඇතැම් වෙළෙඳුන් වැඩි මිලට සහල් අලෙවි කිරීමට කටයුතු කර ඇති නිසා මෙසේ සහල් හිඟයක් ව්‍යාජ ලෙස මවා පා ඇතැයි වාර්තා වෙයි.  


මේ සම්බන්ධව පාරිභෝගික අධිකාරියේ පාරිභෝගික සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ව්‍යාජ ලෙස සහල් හිඟයක් මවා පා සහල් තොග සඟවා ඇති ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කරන බවයි.  


වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් දැනට වැටලීම් 700ක් පමණ මේ වන විට සිදු කර තිබෙන අතර, ඇතැම් මෝල් හිමියන් සහ ව්‍යාපාරිකයන් පවසන්නේ සහල් සඳහා පැනවූ පාලන මිල ඉවත් කළ බවයි.  
එහෙත් එවැනි ඉවත් කිරීමක් සිදු කර නොමැති නිසා වැඩි මිලට සහල් අලෙවි කරන ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ඔහු පැවසීය.  


සහල් තොග වෙළෙඳපොළට නිකුත් නොකරන්නේ නම් ඒ සහල් තොග සොයා වැටලීම් කරන බවත්, එසේ සඟවා ඇති සහල් තොග සහ වී සඟවා ඇති අයට පාරිභෝගික අධිකාරියේ පනත යටතේ නඩු පැවරිය හැකි බව ද ඔහු පැවසීය.