මහරගම මත්පැන් බලපත්‍රයකට ප්‍රදේශවාසීන්ගේ විරෝධය


(දයාසීලි ලියනගේ)  

මහරගම නගර සභා බල ප්‍රදේශය තුළ මත්පැන්හල් 25 කට ආසන්න ප්‍රමාණයක් තිබියදී තවත් සුරාබදු බලපත්‍රයක් නිකුත් කර ති​ෙබන බව වාර්තා වේ.  

රජයේ වගකිවයුතු නිලධාරියෙකුගේ මැදිහත් වීමකින් මෙම නව සුරාබදු බලපත්‍රය නිකුත් කර තිබෙන බව දැනගන්නට ඇත. මහරගම සංවර්ධන කමිටුව, ශාසනාරක්ෂක බල මණ්ඩලය සහ මහරගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි කිතලගම හේමසාර හිමියන්, ඇරැව්වල සිසිලවර්ධනාරාම විහාරාධිපති ගල්ලල ශාන්තදේව හිමියන් ප්‍රධාන ගම්වාසීන් මෙම මත්පැන් බලපත්‍රය අත්හිටුවන ලෙසට ඉල්ලීම් ගණනාවක් කර ඇතත්, මෙතෙක් ඒ පිළිබඳව ක්‍රියාත්මක වී නැති බව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාර​ෙස් (අපරාධ) සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේ මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම දැන් මුළුමනින්ම තහනම් කර ඇති බවයි. රජයේ ප්‍රතිපත්තියට අනුව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිර්දේශ මත හෝටල් හා රෙස්ටුරන්වලට අලෙවි බලපත්‍ර නිකුත් කරන බව ද ඔහු කීය.  


ඒ අනුව මහරගමට මත්පැන් බලපත්‍රයක් ලබා දුන්නේ යැයි කියන සිද්ධිය විය නොහැක්කක් වන අතර සංචාරක ප්‍රවර්ධනය සඳහා එම ආයතනයකට බලපත්‍රයක් දුන්නා ද යන්න පැහැදිලිව කිව​ නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.