මහජන උපයෝගිතා කොමිසම රකින්න ජනාධිපති කොමිසමක් ඉල්ලයි


(උපුල් වික්‍රමසිංහ)   

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වසා දැමීමේ තීරණය ගැනීමට පෙර නිසි වේලාවට විදුලියබලාගාර ඉදිකිරීම ප්‍රමාද කිරීම පසුපස සිටින පිරිස් කවුරුන් ද යන්න අනාවරණය කර ගැනීම සඳහා පූර්ණ බලැති ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියි.   

2015-2020 අතර කාලයේ දී මෙරට ජාතික විදුලිය බල පද්ධතියට කිසිදු විදුලිය බලාගාරයක් එක්කොට නැති බව පවසන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා සේවක සංගමය හදිසි විදුලිය මිල දී ගැනීම් වෙනුවෙන් විදුලිය බලාගාර ඉදිකිරීම ප්‍රමාද කරවීමේ උත්සාහයක ඇතැම් පාර්ශ්ව නියැළෙමින් සිටින බවට සැක පහළ වන බවත් එම අය කවුරුන් ද යන්න හෙළිකර ගැනීම සඳහා මෙවැනි ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීම වැදගත් බවත් සඳහන් කරයි. විදුලියබල කර්මාන්තයෙහි යහ පැවැත්ම පිණිස ඇති කළ මෙම ආයතනයෙහි අවශ්‍යතාව පිළිබඳව විදුලිය බල මණ්ඩලයෙහි ඉංජිනේරු සංගමය ඇතුළුව එහි වෘත්තීය සංගම් මගින් ද පෙන්වා දී ඇති බවත් එවැනි පසුබිමෙක මෙම කොමිෂන් සභාව වසා දැමීම සඳහා යම් බලවේගයක් ක්‍රියාත්මක වී ඇති ද යන්න ගැන සැක පළවන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා සේවක සංගමය කියයි.