මහ වැස්සෙන් 11,000ක් පීඩාවට


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 
නියෝජ්‍ය අධ්‍යක්ෂ 
ප්‍රදීප් කොඩිප්පිලි

(උපුල් වික්‍රමසිංහ)

අධික වර්ෂාවත් සමග ඇතිවූ ජල ගැලීම්වලින් පුද්ගලයන් 11,000 කට බලපෑම් සිදුවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. 


ජල ගැලීම්වලින් පුද්ගල මරණ 4 ක් ද වාර්තා විය.


මේවන විට අධික වර්ෂා තත්ත්වය අඩුවී ඇතත් හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් එයට මුහුණදීමට සූදානම් බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.


“හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වෙලා ජනතාව ඉවත් කිරීමට අවශ්‍ය වුණොත් මේ වසංගත 
තත්ත්වය මධ්‍යයේ ඒ කටයුතු සිදු කිරීමට අවශ්‍ය සැලැස්මක් අපි හදලා තියෙන්නේ. 
ඒ මහතා සඳහන් කළේය.

ගංවතුර නිසා ආපදා තත්ත්වයක් ඇති වුණොත් ජනතාව ඒ ප්‍රදේශවලින් ඉවත් කිරීම සඳහා වන සැලැස්මක් ගිය අවුරුද්දේ ඉඳලා අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒක ක්‍රියාත්මක කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමග සම්බන්ධ වෙලා. ඒ සැලැස්ම අනුව ජීවත් වීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කරලා අවශ්‍ය පරිදි ජනතාව​ සෞඛ්‍යාරක්ෂිතව රැඳවීම සිදු කරනවා. ඊළඟට නිවෙස්වල රැඳී සිටින අයට ආහාර පාන සපයා දීමත් කරනවා. මෙවර ජනතාව ඉවත් කිරීමක් කළහොත් එය කරන්නේ කොවිඩ් 19 තත්ත්වයත් සැලකිල්ලට ගනිමින් ඉතාමත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි. 


ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් බෝට්ටු හා ජීවිතාරක්ෂක කණ්ඩායම් අපි ලෑස්ති කරලා තියෙනවා. මාතර, ගාල්ල, කළුතර, කොළඹ, කෑගල්ල මේ වගේ හැම දිස්ත්‍රික්කයකම ඒ කණ්ඩායම් සූදානම් කරලා තියෙනවා. ඒ මහතා පැවසීය.

  
ජාතික ගොඩනැගිලි හා පර්‌යේෂණ ආයතනය මේ වනවිටත් නාය යෑමේ අවදානම් සහිත ස්ථාන හඳුනාගෙන ඒවා නිවේදනය කරලා තියෙනවා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ ඒ අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව දැනුවත් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. වර්ෂාව වැඩි වුණොත් ජනතාව ඉවත් කරන්න අපි කටයුතු කරනවා. මොකද නාය යෑම් සඳහා වර්ෂාව තමයි ප්‍රධාන හේතුවක් වෙන්නේ. මේ වෙනකොට නාය යෑම් අවදානම් නිවේදන දැඩිව නිකුත් කරලා තියෙන්නේ කළුතර හා ගාල්ල දිස්ත්‍රික්කවලට.   


කාලගුණ වාර්තාව අනුව මේ වර්ෂාව සෙනසුරාදා වෙනකොට අඩු වෙනවා. මේ වර්ෂාපතනය ඇති වුණේ අරාබි මුහුදේ ඇති වුණු කැළැඹිලිකාරී තත්ත්වයක් නිසා. මේ වෙනකොට අත්තනගලු ඔයේ ඉඳලා මාතර නිල්වලා ගංගාව දක්වා වූ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.” ඒ මහතා සඳහන් කළේය.