මහ ඡන්දෙන් පසු ඉක්මනින්ම පළාත් සභා එයි


(අජන්ත කුමාර අගලකඩ)   

මහ මැතිවරණය පවත්වා ඉතා කෙටි කාලයක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය තීරණය කර ඇත.   


ඉකුත් බ්‍රහස්පතින්දා (06) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍යවේදීන්ගේ හමුවකදී ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ බව තහවුරු කළේය.   

පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමය යටතේම පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.   


සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර යන පළාත් සභා තුනේ නිල කාලය 2017 වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ අතර පළාත් සභා 9න් අවසන් පළාත් සභාව වූ ඌව පළාත් සභා නිල කාලය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයෙන් අවසන් විය.   


පළාත් සභාවල නිල කාලය අවසන්වී සෑහෙන කාලයක් ගතවී ඇතත් පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි වීමෙන් ඒවා පවත්වාගෙන යාමේ ප්‍රා​යෝගික ගැටලු රැසක් මතුවී තිබේ.   


පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත ක්‍රමය එක්ව මිශ්‍ර ක්‍රමයක් යටතේ පැවැත්වීමට පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත පාර්ලිමේන්තුවේදී සම්මතවී ඇතත් සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීම හේතුවෙන් ඡන්දය පවත්වන ආකාරය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුවී ඇත.   


ඒ අනුව පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයටම පැවැත්වීමට නම් පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට නව පනතක් ගෙන ආ යුතු වේ.   එසේ නොමැතිව අලුත් ක්‍රමයට ඡන්දය පවත්වන්නේ නම් සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කර කොට්ඨාස තීරණය කළ යුතුවේ.   


එහෙත් පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයටම පැවැත්වීමට රජය තීරණය කර ඇති බැවින් නව පනතක් මහ මැතිවරණයෙන් පසුව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට රජය අපේක්ෂා කරයි.   


ඒ අනුව පළාත් සභා නවයේ මැතිවරණය ලබන අගෝස්තු මාසයට පෙර පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසේ.