මව්පිය සෙනෙහස මහ මගට ඇද දමන නරුම දරුවෝ


හිරුඑළිය නොමැතිව පෘථිවියට පැවැත්මක් නොමැත්තේය. හිරුඑළිය නිසාම පෘථිවිය නිසාම ගහකොළ සතා සිව්පාවා ජීවත් වෙති. මව්පියවරුන් නොමැතිව දරුවන්ට ද ජීවිතයක් නොමැත්තේය. මව්පියන්ගේ මහමෙරක් තරම් වූ ආදරය සෙනෙහස රැකවරණය නිසාම දරුවෝ ජීවත් වෙති.  


එහෙත් ඇති ඛේදවාචකය වන්නේ එසේ සුජාත දරුවෝ තමන්ට ජීවත් වීමේ අයිතිය ලබා දුන් මව්පියන් නොසලකා හැරීමය. ඔවුන්ව බරක් සේ සිතා අතරමන් කිරීමය. සිය සුබවිහරණය උදෙසා පාරවල හැර දමා යාමය. ධනය දේපළ උදෙසා ඔවුනට තාඩන පීඩන කිරීමය.  


විටෙක බලුකූඩුවලය. විටෙක දර මඩුවලය. තවත් විටෙක පාළු සොහොන්වලය. ඇතැම් විට පාරවලය. දරුවෙකුට ජීවය දුන් බ්‍රහ්ම යන නාමයෙන් හැඳින්වූ මවුපියවරු එසේ අසරණ ජීවිත ගත කරන්නේ ඇයි?  


මෙවර ලිපියෙන් අනාවරණය කරණුයේ දරුවන්ගෙන් සැලකුම් නොලබන එවන් වූ අසරණ මව්පියවරුන්ගේ ඛේදවාචකය පිළිබඳවය.  


පසුගිය 22 වැනි දින 70 වියැති කාන්තාවක් මාදම්පේ පතිරෙන්ද‌ාව පොදු සුසාන භූමියේ පිහිටි පාළු ගොඩනැගිල්ලක තනිකර දමා ගොස් ගොස් තිබිණි. අසරණ වී සිටිනු ඇය නෙත ගැටුණු ප්‍රදේශවාසීහු ඇයට ආහාරපාන ලබා දුන් අතර ඇය පිළිබඳ පුවත මාදම්පේ පොලිසියට සැළකළහ. එහිදී අනාවරණය වූයේ යතුරුපැදියකින් පැමිණි ​අයෙකු ඇය මෙම ස්ථානයේ අතහැර දමා ගිය බවකි.  


ඇය පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට මාදම්පේ පොලිසිය විසින් පරික්ෂණ පවත්වනු ලබයි.  


මෙම ඛේදවාචකයත් සමඟම අසන්නට ලැබුණේ මොනරාගල, මැදගම, කොහුකුඹුර, නන්නපුරාව ප්‍රදේශයේදී හැටහැවිරිදි වයස්ගත කාන්තාවක් බලවත් ලෙස ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බවකි. මෙම අපරාධය සිදුකර ඇත්තේ ඈ සිටි නිවසේ ගෙවත්තේ පොල් කැඩීමට එන 38 හැවිරිදි තරුණයෙකි.  


සැබැවින්ම තමන්ගේම මව් වැනි කාන්තාවක් මෙලෙස ලිංගික හිංසනයට ලක්කිරීම සාහසික ක්‍රියාවකි. මේ පිළිබඳව ද මොනරාගල පොලිසිය පරික්ෂණ කටයුතු සිදුකරනු ලබයි.  


මෙම ඛේදවාචකයේ උණුසුම පහව යන්නටත් පෙර අසන්නට ලැබුණේ ගම්පොල ප්‍රදේශයෙන් වාර්තා වූ ඛේදවාචකයක් පිළිබඳවය. එනම් හැට හැවිරිදි මහලු මව 40 හැවිරිදි සිය ආබාධිත දියණිය මරා දමා පුච්චා ඇත.  
මේ පිළිබඳව එම මහලු කාන්තාව දක්වා ඇත්තේ ඇගේ දියණිය සෙනෙහසින් බලාගත් බවත් ඇගේ මරණින් පසු එම ආබාධිත දියණිය අසරණ වන බවත් නිසා ඇයව ඝාතනය කර තමා ද ජීවිතය අහිමිකර ගැනීමට යන්ත දැරූ බවකි.  


ඉහතින් දක්වන ලද්දේ මේ දිනවල වාර්තා වූ වැඩිහිටි ඛේදවාචකයන් කීපයක් පමණි. මන්ද යත් වාර්තාවෙන සේම වාර්තා නොවන ඛේදවාචකයන් බො​ෙහාමයක් ද සමාජයේ සැඟ වී ඇත්තේය.  


සැබැවින්ම වැඩිහිටියන් ලෙස අප පොදුවේ සලකන්නේ කාගේ හෝ මව්පියවරුය. සහෝදර සහෝදරියන්ය. අඹුසැමියන්ය. වියපත් වීමත් සමඟ ඔවුන් මෙවන් වූ ගැටලු හා සමාජ අසාධාරණකම්වලට ලක්වන්නේ ඇයි? මේ ඒ පිළිබඳව වූ විමසුමකි.  


ශ්‍රී ලංකාවේ පළමු ජන සංගණනය පවත්වා ඇත්තේ 1871 ක වසරේදීය. එහිදී වාර්තා වූ ජනගහනය මිලියන 2.4 කි. 2012 වසරේදී දෙවැනි වරට ජන හා නිවාස සංගණනයක් සිදුකර ඇත.  


එහිදී වාර්තා වී ඇති ජනගහණයෙන් වැඩිහිටි ජනගහණය පමණක් මිලියන 2.5 කි. 2012 සංගණන වාර්තාවල කොළඹ දිස්ත්‍රික්කයේ සියයට 13.6 ක්ද, ගම්පහ සියයට 12.8 ක්ද, මහනුවර සියයට 18.5 ක්ද, ගාල්ල සියයට 14.7 ක්ද. මාතර සියයට 14.8 ක්ද වශයෙන් වැඩිහිටි ජනගහණය වර්ධනය වී ඇති බව පෙන්වා දී තිබුණි.  


මෙම ජනගහණයෙන් වැඩිහිටි පුරුෂයන්ගේ ප්‍රතිශතය සියයට 44.3 ක් ලෙස ද කාන්තා වැඩිහිටි ජනගහණය සියයට 55.7 ක්ද විය. මේ අතරින් වැන්දඹු පිරිස 20.9 ක් ලෙස පෙන්වා දී තිබූ අතර වයස අවුරුදු 60-74 සීමාවේ පසුවන්නන් සියයට 78 ක් ලෙස ද වයස අවුරුදු 75 ට වැඩි වූවන් සියයට 22 ක් ලෙස ද සඳහන් විය.  

 

කිසිවක් කරගත නොහැකි නොදරුවෙක් මෙලොව එළිය දුටු දා පටන් අනේක විධ දුක්ඛ දෝමනස්ස විඳිමින් සෙනෙහසින් ඇති දැඩි කරන්නේ මව්පියන්ය. තම කුසට අහරක් නොමැතිව දරුවන්ගේ කුස පුරවා සතුටු වෙන්නේ මව්පියන්ය. දරුවන්ට හොඳම දේ දෙමින් ජීවිතය සාර්ථක කරවන්නේ මව්පියන්ය. කැතකුණු අතගාමින්, දිවා රෑ නිදි නොලබා ඇතිදැඩි කරනා දරුවන් දවසින් දවස ලොකුවන විට කල්පයක් තරම් වූ සුබසිහින දකින්නේ මව්පියන්ය.

 


1981 වර්ෂයේදී පුරවැසියන්ගෙන් 9 දෙනකු ගෙන් 1 ක් වැඩිහිටියකු වූ අතර 2012 දී එය 5 න් 1 ක් ලෙස වෙනස් වී ඇත.  


මේ ආකාරයෙන් වැඩිහිටි ප්‍රජාවේ ප්‍රමාණය වැඩිවීමත් සමඟ ඔවුන් විවිධ වූ සමාජ ගැටලුවලට ගොදුරුවීමේ ප්‍රමාණය ද වැඩි වී ඇත. එනම් අවුරුදු 55 න් විශ්‍රාම ගන්නා වැඩිහිටියා ඉන්පසු කාලය ගෙවා දමන්නේ ගෘහයේය. එහිදී ඇතිවන මානසික ආතතිය ඔවුනට දරා ගැනීමට අපහසුය. එසේම වයසත් සමඟ ස්වාමියා හෝ බිරිඳ මියයාම නිසා ඇතිවන හුදකලාව ද ඔවුන් තවත් මානසික පීඩනයට ලක්කරයි. මානසිකව දුර්වල වන වැඩිහිටියා ශාරීරිකව ද දුර්වල වන්නේ එම පීඩාවන් දරාගත නොහැකිවය.  


එසේම සෞඛ්‍යවත් ජීවිතයක් නොමැති තැන ඔවුනගේ ප්‍රතිශක්තිකරණය ද හීන වී යයි. එවන් වූ විටෙක එක්තැන් වූ දුර්වල වැඩිහිටියෙකු ලෙස කල් ගත කිරීමට සිදුවේ.  


දුර්වල සෞඛ්‍ය, දුර්වල මානසිකත්වය ඔවුනගේ මතක ශක්තිය ද හීන කරවයි. ඇතැම් විට එය සිය පවුලේ අයට පීඩාවක් ගෙන දෙන්නක් ද විය හැකිය. මේ පිළිබඳව ජොනතන් කෙස්ටර් නම් ද‌ාර්ශනිකයා හඳුන්වා දී තිබෙන්නේ මෙසේය.  


‘කැදැල්ල හිස්වීම, පවුලේ කාර්යභාරය අහිමිවීම. සමාජ තත්ත්වය අහිමිවීම, රැකියාව හෝ වෘත්තියෙන් විශ්‍රාම ගැනීම, ඇසුරු කළ සමුහයාගෙන් ඈත් වීමට සිදුවීම, සහකරු හෝ සහකාරිය දැඩි ලෙස රෝගිවීම, ඔත්පළ වීම හෝ මිය යාම, නොසලකා හැරීම, දේපළ දරුවන්ට පවරාදීමට සිදුවීම, දැඩි ආර්ථික දුෂ්කරතා ඇතිවීම වැඩිහිටි වියේදී මානසික ගැටලු ඇතිකරවන මනෝ විද්‍යාත්මක හේතූන්ය.  


මෙවන් වූ තත්ත්වයන්ට පත්වෙන වැඩිහිටියෝ විටෙක ආවේගශීලී වෙති. ඇතැම්විට බරපතළ රෝගාබාධවලට ලක්වෙති. තවත් විටෙක අපරාධ කිරීමට පෙළඹෙති. ඇතැම්විට සිය දිවි නසා ගනිති.  


ලංකා අල්සයිමර් ආයතනය විසින් ඩි​ෙමන්ෂියාව හෙවත් දරුණු ලෙස කෙටිකාලීන මතකය නැතිවීම යන රෝගයට ගොදුරු වූ රෝගින් 100,000 පමණ ලංකාවේ සිටින බව පෙන්වා දී ඇත.  


මෙම රෝගයේ ප්‍රතිඵල ලෙස මනෝ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ආහාර ගත් බව අමතක වී නැවත නැවත ආහාර ඉල්ලීම, කන්න නොදුන් බව පැවසීම, මළ මුත්‍රා පිටකිරීම පාලනය කරගත නොහැකි වීම නිසා සිටින තැනම එම දේ සිදුකිරීම, අරමුණක් නොමැතිව කියවීම හා කෝපාවිෂ්ටව හැසිරීම, අවට පරිසරය පිළිබඳ අනවබෝධයෙන් සිටීම නිසා ඇතැම්විට නිරුවතින් පවා සිටීම, රැය දවාල පිළිබඳ අනවබෝධයෙන් නිවසේ හැම තැනම ඇවිදීම ආදී ක්‍රියාවන් සිදුකරන බවයි.  


මෙවන් වූ අවස්ථාවන්හි දී කුඩා දරුවන් සිටින හෝ රැකියා කරන එම වැඩිහිටියන්ගේ දරුවෝ සිය මව්පියන් බරක් ලෙස සිතති. එම වැඩිහිටියන්ගේ රෝග සුවපත් කිරීමට හෝ සෙනෙහස ලබා දෙමින් චිත්ත ධෛර්යය වැඩිකර රැකබලා ගන්නවා වෙනුවට ඔවුන්ව මහලු මඩම්වලට දමා යති. නැතහොත් මහපාරවල් වල, සොහොන් පිටිවල හෝ පාළු ස්ථානවල හැර යති. සමහරවිට රෝහල්වල දමා පලා යති. ඇතැම් මව්පියෝ බලුකූඩුවල, දරමඩුවල සිරකර ලති. ඇතැම් විට පහර දී මරා දමති.  


සැබැවින්ම සිදුනොවිය යුතු දේ සිදුවෙති.  


කිසිවක් කරගත නොහැකි නොදරුවෙක් මෙලොව එළිය දුටු දා පටන් අනේක විධ දුක්ඛ දෝමනස්ස විඳිමින් සෙනෙහසින් ඇති දැඩි කරන්නේ මව්පියන්ය. තම කුසට අහරක් නොමැතිව දරුවන්ගේ කුස පුරවා සතුටු වෙන්නේ මව්පියන්ය. දරුවන්ට හොඳම දේ දෙමින් ජීවිතය සාර්ථක කරවන්නේ මව්පියන්ය. කැතකුණු අතගාමින්, දිවා රෑ නිදි නොලබා ඇතිදැඩි කරනා දරුවන් දවසින් දවස ලොකුවන විට කල්පයක් තරම් වූ සුබසිහින දකින්නේ මව්පියන්ය.  


එවන් වූ කැපකිරීම් කරනා මව්පියවරු රෝගී වූ විට කල්පනාව නැති වූ විට කරදරයකැයි සිතා මහ මඟ දමා යාම කොතරම් මානුෂික ද යන්න ඔබ සිතා බැලිය යුතුය. ඔබ ඔබේ දරුවන් රැකගැනීමට වෙහෙසෙන්නේය. ඔවුන්ට ළෙන්ගතු වන්නේය. ඔවුන් ජීවිතය කොට සලකන්නේය. ඔබේ කුඩා කාලයේ ඔ​ෙබ් මව්පියන් ඔබට සෙනෙහස දැක්වූවේත් එසේම බව ඔබ අමතක නොකළ යුතුය. ඔබේ දරුවන් කෙදිනක හෝ වැඩිහිටියන් රැකගැනීම, වැඩිහිටියන්ට සැලකීම ඉගෙන ගන්නේ ඔ​ෙබන්ම බව අමතක නොකළ යුතුය.  


වර්තමානය වෙන විට මහමඟ දමා යන මව්පියවරුන් සම්බන්ධ නෛතිකමය තත්ත්වයන් ගොඩනැගී ඇත්තේය. මව්පියන් අසරණ කරන අජාසත් දරුවන්ට එරෙහිව එම නීතිත් ක්‍රියාත්මක වන්නේය. එහෙත් ඇති ඛේදවාචකය වන්නේ කුමන නීතියක් තිබුණත් මිනිසුන්​ෙග් ආකල්ප යහපත් නොවීමය. ඒ නිසාම මෙවන් වූ ඛේදවාචක නිරන්තරව අසන්නට ලැබේ.  


කුඩා කල සිටම පුංචි මනසට ආදරය, අනුකම්පාව, ගරුකිරීම වැනි මානව වාදී ගුණධර්ම කියාදීමත් දහම් අධ්‍යාපනය ලබාදීමත් අත්‍යවශ්‍ය විභාග රැල්ලට පමණක් දරුවා තල්ලු නොකර ආකල්පමය වශයෙන් දියුණු දරුවෙක් නිර්මාණය කිරීම ඔබගේ වගකීමය. එසේ වුවහොත් දිනෙන් දින සිදුවන මෙවැනි ආත්මාර්ථකාමී ඛේදවාචකයන් අඩුවනු ඇත.

 

 

 

 

සටහන : කුමාරි හේරත්
ඡායාරූපය අන්තර්ජාලයෙනි.