මලේ තෙල් ටැංකි සංකීර්ණය පවරාගෙන විදෙස්වලට ඉන්ධන සපයන ගබඩාවක් පිහිටවමු


 

(මහින්ද නිශ්ශංක)  
ත්‍රිකුණාමලය චීන වරාය තෙල් ටැංකි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවරාගෙන අන්තර්ජාතික ඉන්ධන ගබඩාවක් වශයෙන් පවත්වාගෙන යන ලෙස ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව රජයෙන් ඉල්ලා සිටී.  

සංස්ථාව යටතේ අන්තර්ජාතික ගබඩාවක් ලෙස පවත්වාගෙන යාමෙන් විදේශ සමාගම්වලට එහි ඉන්ධන ගබඩා කිරීමට පහසුකම් සලසා දිය හැකි බවත් එමගින් සංස්ථාවට විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි බවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා පැවැසීය.  


ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට ලබා නොදෙන ලෙස රජයට බල කර සිටින බවත් පවසන රාජකරුණා මහතා තෙල් ටැංකි 99 ඛනිජ තෙල් සංස්ථාවට පවරාගෙන උතුරු-නැගෙනහිර, පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවලට ද තෙල් සැපයීමෙන් ප්‍රවාහන වියදම් පමණක් වසරකට රුපියල් මිලියන 1500 ක ඉතිරියක් සිදුවන බවද කීය.  


මෙයට අමතරව ත්‍රිකුණාමලයේ සිට දුම්රියෙන් කුරුණෑගලට තෙල් ප්‍රවාහනය කිරීමේ පහසුකම් තිබෙන බවද එය රජයට විශාල ඉතිරියක් බවද පවසන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රාජකරුණා මහතා ඉන්දීය තෙල් සමාගම රටේ තෙල් වෙළෙඳපොළෙන් සියයට 16 ක් හිමිකරගෙන රටේ තෙල් අර්බුදයක් ඇති කර රටටම බලපෑම් කළේ නම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්පූර්ණයෙන්ම ඉන්දීය සමාගමට ලබාදීම තුළ ඇතිවිය හැකි අනිටු ප්‍රතිඵල පිළිබඳ අවධාරණය කරන බවද ඔහු පවසයි.