මරණ දඬුවම් පෝලිමේ මුලින්ම කාන්තාවක්


(ජයන්ත සමරකෝන්)  

මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතරින් සිව්දෙනෙකු ඉදිරි සති දෙක ඇතුළත එල්ලා මැරීමේදී එම ලැයිස්තුවේ සිටින 18 දෙනා මේ වනවිට දැඩි වික්ෂිප්ත භාවයට පත්ව සිටින බව වාර්තා වේ.  

මෙම 18 දෙනා අතරින් පළමුවෙන් සිටිනුයේ ශ්‍යාමලී පෙරේරා නමැති මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇයට මරණ දඬුවම හිමිවී ඇත්තේ 2011.03.01 දාය.  
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 54 වගන්තියට අනුව මරණ දඬුවම ලබා සිටින කාන්තාවන් මෙතෙක් එල්ලා මරා නොමැති අතර, ඒ වෙනුවට ජීවිතාන්ත සිරදඬුවම් ලබාදීම සිදුකර ඇති බව බන්ධනාගාර ඉතිහාසයේ දැක්වේ.  


ඉංග්‍රීසි පාලන සමය තුළ මරණ දඬුවමට ලක්වූ ප්‍රථම කාන්තාව වූයේ පී.ජී. ඩිංගිරි මැණිකාය.  


ඒ වනවිට ඇය ගැබිණියකව සිටි බැවින්, ඇයට හිමි දඬුවම දරු ප්‍රසූතියෙන් මාස දෙකක් දක්වා කල් දමා ඇත. එහෙත්, ඇගෙන් කිරි උරා බොන දරුවා පිළිබඳව සලකා එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා ඇයට සමාවදී ඇති අතර එදා සිට 1976 වසර දක්වාම කිසිදු කාන්තාවක් මරණීය දඬුවමට ලක්කර නැති බව බන්ධනාගාර වාර්තාවල දැක්වේ.  
18 දෙනාගේ නම් ලැයිස්තුවේ ඊළඟට සිටිනුයේ සී. ධර්මාකරන් නමැත්තෙකි. ඔහුට මරණ දඬුවම හිමි වී ඇත්තේ, 2003.12.04 දාය.  


ලැයිස්තුවේ තුන්වැන්නා එන්.ජේ.එම්. ඉස්තාර් නමැත්තෙකු වන අතර, සිව්වැන්නා පී.ජී. බොලිසින් නමැත්තෙකි. පිළිවෙළින් 2007.06.28 හා 2008.03.24 යන දිනයන්හි දී ඔවුන් දෙදෙනාට මරණ දඬුවම නියම වී ඇත.  


මෙම ලැයිස්තුවේ පී.ඒ. බුටි (7 වැන්නා), එම්. කුමාර් (8 වැන්නා), එම්. මෂාර් (10 වැන්නා), එස්. මුහම්මද් (14 වැන්නා) වශයෙන් පකිස්ථාන් ජාතිකයින් සිව්දෙනෙකු ද වෙති.  
ඉතිරි සියලුම දෙනා සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකයෝය.