මනාප ජන්ද ක්‍රම අහෝසිය අලුතෙන් හදන ව්‍යවස්ථාවෙන්


(අජන්ත කුමාර අගලකඩ) 

බරපතළ විවේචන එල්ලවී ඇති දැනට ක්‍රියාත්මක මනාප ඡන්ද ක්‍රමය අහෝසි කර රටට ගැළපෙන නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීමට රජයේ දැඩි අවධානය ​ යොමුවී ඇත. 

අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ඉකුත්දා පත් කෙරුණු නව දෙනකුගෙන් යුත් විද්වත් කමිටුවටද ආණ්ඩුව මෙම අදහස ඉදිරිපත් කර ඇත. 


නව මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමේදී මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාවද සැලකිල්ලට ගන්නා බව රජයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 


පක්ෂ අතරට වඩා එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර අර්බුද නිර්මාණය කර ඇති මනාප ඡන්ද ක්‍රමය වෙනුවට මැතිවරණ කොට්ඨාසයකට මන්ත්‍රීවරයකු පත්වෙන ආකාරයෙන් නව මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමටත් අනුපාත ක්‍රමය යටතේ ද මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පත්වන සේ නව ඡන්ද ක්‍රමය සකස් කිරීමටත් අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය. 


දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම කඩිනම් පියවරක් ලෙස කළ යුතු බැවින් 20 වැනි සංශෝධනය කෙටි කාලීන පියවරක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග සිදුකරන බවත් හෙතෙම කීවේය. 


මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය කළ විමසුමකදී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ මනාප ක්‍රමය රටට නොගැළපෙන බවට පුළුල් මතයක් සමාජයෙන් ඉදිරිපත්ව ඇති බැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන බවය. 


නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පත්කර ඇති විද්වත් කමිටුව අධිකරණ ඇමැතිවරයාට වාර්තාව ඉදිරිපත් කිරීමේදී මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ අදහස් ද ඉදිරිපත් කරනු ඇතැයි මහාචාර්ය පීරිස් මහතා සඳහන් කළේය.