මන්නාරමේ සුළං බලාගාර ඉඩමට තට්ටු කරන්න හදන දේශපාලකයෙක්


 

(දයාසීලි ලියනගේ)  

විදුලිය ඒකකයක් අඩුම මිලකට ලබාගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මගින් මන්නාරමේ අක්කර 350ක බිමක ඉදිකෙරෙන මෙ.වො. 100ක සුළං විදුලි බලාගාරයට අයත් ඉඩම් පවරා දෙන ලෙසට ප්‍රධාන පෙළේ ඇමැතිවරයෙකු විදුලිබල මණ්ඩලයට දැඩි ලෙස බලපෑම් කරන බව වාර්තා වේ.  

මෙම දේශපාලනඥයා පසුගිය සතියේ දී විදුලිබල අමාත්‍යංශයට පැමිණ ඇමැති රවී කරුණානායක මහතා හා විදුලි බල මණ්ඩලයේ නියෝජිතයන් හමුවී ඇත.  
මෙ.වො. 100ක් නිපදවන සුළං විදුලි බලාගාර පිහිටුවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මගින් මේ වනවිට සියලු වැඩ කටයුතු ආරම්භ කර ඇත.  


විදුලිය ඒකකයක් රුපියල් 8.00කට ලබාගැනීමට හැකි ආකාරයට විදුලි ඉංජිනේරුවන්ගේ මැදිහත්වීමෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලබන අතර, ඒ සඳහා වෙන් කරන ලද ඉඩම්වලින් කොටසක් ලබාදිය යුතු බවට අදාළ දේශපාලනඥයා තදබල ලෙස බලපෑම් කර ඇත.  


මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රකාශ කළේ, රටේ ජනතාවට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයට සකස් කරන ලද මෙම ව්‍යාපෘතියට අදාළ ඉඩම් කිසිදු දේශපාලනඥයකුට පැවරීමට ඉඩ නොදෙන බවයි.  


මෙම දේශපාලනඥයා අදාළ බලාගාරය සඳහා වෙන් කරන ලද ඉඩම් ලබාගැනීමට දැඩි උත්සාහයක නිරත වී සිටින බව ද ඔහු කීය.  


මෙම සුළං බලාගාරය පිහිටුවීමෙන් මණ්ඩලයට බිලියන 100ක ඉතිරියක් ලැබෙන බව ගණන් බලා ඇති බව ද සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රකාශ කළේය.