මන්නාරම් මිනී වළ වසර 500 ක් පැරණියි ඇමරිකා සරසවියට යැවූ කාබන් කාල නිර්ණයෙන් තහවුරු වෙයි


 

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සොයාගන්නා ලද විශාලතම සමූහ මිනී වළ වන්නේ මන්නාරම සමූහ මිනීවළ බව පැවසෙයි.   


මෙම මිනී වළෙන් සොයාගන්නා ලද අස්ථි කොටස් පිළිබඳ පැවැති විවිධ මත නිරාකරණය කර ගැනීම සඳහා ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාහි පිහිටි බීටා ඇනලිටික්ස් ආයතනයට කාල නිර්ණය සඳහා යොමුකර තිබිණි.   


මේ වෙන විට එහි වාර්තා ලැබී තිබේ. එම වාර්තාවලට අනුව මන්නාරම සමූහ මිනී වළෙන් හමුවූ අස්ථි කොටස් අයිතිවෙන්නේ ක්‍රි.ව. 1499 - 1719 යන කාලයන්ටය. මෙම කාල නිර්ණය අනුව එ් ඒ කාල සීමාවන් තුළ මිනිස් සංහාරයන් සිදුවූයේ ද නැත්නම් වෙනයම් හේතුවක් ඊට බලපෑවේ ද? ඒ කුමන පසුබිම් තුළ ද යන්න පිළිබඳ කතා කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා සම්බන්ධ කර ගත්තෙමු.   


13 වැනි සියවස වෙන විට නිරිත දිග රාජ්‍යයන්ට අමතරව උතුරේ වෙනම රාජ්‍යයක් නිර්මාණය වී තිබුණා. ඒ රාජ්‍ය අපි යාපන රාජධානිය ලෙස හඳුන්වනවා. මූලාශ්‍රවල සඳහන් වෙන ආකාරයට මෙහි අගනුවර වූයේ නල්ලූර්.   


13 වැනි සියවසේ ආරම්භ වූ යාපන රාජධානිය පෘතුගීසීනට යටත්වන තුරු (ක්‍රි.ව. 1620) පාලනය කළේ ආර්ය චක්‍රවර්ති රජවරු. මාරුවෙන් මාරුවට ගම්පොළ, යාපහුව හා කෝට්ටේ රාජධානිවලට බලපෑම් කරමින් යාපනය පාලනය කළ ආර්ය චක්‍රවර්ති රජවරු ප්‍රමාණය 13 ක්.   


පාණ්ඩ්‍ය රාජ්‍යයේ සෙබළු භාරව සිටි සෙන්පතියා තමයි පළමු ආර්ය චක්‍රවර්ති රජු ලෙස හඳුනාගන්නේ. ඔහු පළමුවරට යාපනය රාජධානියට බලපෑමක් සිදුකළා. එහි ප්‍රතිඵලයක් ලෙසයි ඔහු සමඟ පැමිණි පිරිස සමඟ යාපනයේ පාලනය ඔහු සතුකර ගත්තේ.   


ටිකෙන් ටික යාපනය රාජ්‍යය ප්‍රබලත්වයට පත්වුණා. එහි ප්‍රතිඵලයක් ලෙසයි සිංහල රජවරු උතුරේ සිටි ආර්ය චක්‍රවර්ති රජුන්ට කප්පම් ගෙවීම් සිදුකළේ.   


 එහෙත් 15 වැනි සියවසේ මැද හරියේදී 6 වැනි පරාක්‍රමබාහු රජුගේ යුද සේනාධිපතියා වූ සපුමල් කුමරු උතුරට ගොස් සටන් කළා. ඉන් ජයග්‍රහණය ලබා ගැනීමට ද ඔහු සමත් වුණා. ඒත් ඒ ජයග්‍රහණය පැවතියේ ටික කාලයයි. 1590 වන තෙක් පැවැති යාපනය රාජ්‍ය ඉන්පසු පෘතුගීසින්ට යටත් වුණා. 1620 පමණ එය පෘතුගීසි පාලන ප්‍රදේශයක් බවට පත්වුණා.   


විජය කුලංගෙයි ආර්ය චක්‍රවර්ති රජුගේ කාලයේ පටන් පෘතුගීසි පාලනය දක්වා තොරතුරු දැනගන්න පුළුවන් හොඳම මූලශ්‍රය තමයි යාල්පානම් වෛපමාලෛයි ග්‍රන්ථය.   
 එහි රජ කළ ආර්ය චක්‍රවර්ති රජවරු 12 ක් පිළිබඳ ඉරාශමුරෙයි කියන ග්‍රන්ථයේද තොරතුරු සඳහන් වෙලා තිබෙනවා. මේ ග්‍රන්ථය දැන් සොයාගත නොහැකියි.   
ෂිංගෛයි ආර්යයන් කියන රජු (විජය කුලංගෙයි) නල්ලූර් අල්ලාගෙන එහි ආරක්ෂාව තර කළා. ඔහුගේ රාජ්‍ය කාලයේදී කෛලයාන් නාතර් කෝවිලත්, කන්ද ගුවාමි කෝවිලත් යනාදී කෝවිල් කීපයක්ම යාපන​ෙය් ගොඩනැගුවා.   


ඊළඟට රජ වූ කුලසේකර ෂිංගෛයි ආර්ය රජු ද යාපනය රාජ්‍යයේ පරිපාලනය දියුණු කළා.   


නමුත් වික්කිරව ෂිංගෛයි ආර්යයන් රජුගේ පාලනය කාලය තුළ යාපනයේ සිටි දෙමළ, සිංහල වැසියන් අතර මතභේද‌ාත්මක ගැටුම් ඇතිවුණා. එහි ප්‍රතිඵලය වූයේ සටන් ඇති වී මිනිසුන් විශාල ප්‍රමාණයක් මරුමුවට පත්වීම.   


මෙහිදී පුංචි බණ්ඩා නමැති සිංහලයෙක් සහ තවත් සිංහලයන් 17 ක් මරණ දඬුවමට කැපකරවූ බව සඳහන් වෙනවා.   


මීළඟට වරෝධය ෂිංගෛයි ආර්යන් කියන රජු නැවත සමගිය ඇති කිරීමට කටයුතු කර තිබෙනවා.   


මාර්තණ්ඩරන් ෂිංගෛයි ආර්යන් රජු සාමකාමීව පාලනය ගෙන ගියත් වන්නියාර්වරු නැවත කළහකාරි තත්ත්ව ඇති කළා. එය මැඩපැවැත්වීමට කටයුතු කිරීමේදීත් විශාල ලෙස සටන් ඇති වී තිබූ අතර ඉන් විශාල පිරිසක් මියගියා.   


මීළඟට කුහබූෂණ රජුගේ කාලය නැවතත් සාමකාමී වුණා. එහෙත් ඊළඟට රජ වූ විරෝධ ෂිංගෛයි ආර්යන් රජුගේ කාලයේදී වන්නියාර්වරු (වන්නි පෙදෙසේ ප්‍රධානීන්) සිංහල වැසියන් ලවා නැවත කළබල ඇති කරවූවා. එහිදී එය මැඩපැවැත්වීමට නැවතත් සටන් ඇති වූ අතර විශාල මිනිස් සංහාරයක් සිදුවූවා. මේ සංහාරය වව්නියාව, ඕමන්ත ආදී විශාල ප්‍රදේශයක සිදුවුණා. සිංහල, දෙමළ විශාල පිරිස් ඉන් මැරුම් කා තිබුණා.   


විරෝධප රජු රටින් පිටව සිටි කාලයේ නැවතත් වන්නියාර්වරු කැරළි ගැහුවා. එහිදීද විශාල මිනිස් සංහාරයක් සිදුවූ බව මූලාශ්‍ර පරික්ෂාවේදී පෙනී යනවා.   


මීළඟට ජයවීර ෂිංගෛයි ආර්යන් රජු කාලයේ මුතුපර සම්බන්ධ ආරවුලකට මුලපිරුවා. හේතුව ඒ වන විට මුතුපරවල ආද‌ායම යාපනය රජු ලබා ගැනීම. එහිදී ද විශාල සටන් ඇතිවුණා. තවද මුතු කැඩීම සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙන්වූ මිනිස් ප්‍රජාව වසංගත ලෙඩ රෝග වලට ගොදුරු වී මරණයට පත්වීමත් සිදුවුණා.   


මෙවන් වූ තත්ත්වයන් මාධ්‍යයේ සිංහල රජු වූ බුවනෙකබාහු රජු සමඟ සටන් කර ආර්ය චක්‍රවර්ති රජු ජයග්‍රහණය කළා. එහි ප්‍රතිඵලය වූයේ වසර 12 ක්ම උතුරු රාජධානියට සිංහල රාජ්‍ය යටත්වීම. පසු කාලයේ පාණ්ඩ්‍ය රජු විසින් යාපනය රාජධානියට අල්ලාගත් සිංහල ප්‍රදේශ පරාක්‍රමබාහු රජුට භාරදීම සිදුකළා. ඒ යාපනය පාලනය කළ ජයවීර රජුට පරාක්‍රමබාහු රජු කප්පම් ගෙවිය යුතුයි යන කොන්දේසිය මත. ඒ අනුව කාලයක් ලංකා රාජ්‍යයේ පාලනය සිදුවුණා.   


මීළඟට කනකසූරිය ෂිංගෛයි ආර්යන් රජුගේ කාලයේදී වන්නියාවර්වරු නැවතත් කලබල ඇතිකරන්න පටන් ගත්තා. එයින්ද විශාල මිනිස් සංහාරයක් සිදුවී තිබෙනවා. මින්පසු රජු ඉන්දියාවට සිය දරුවන් සමඟ පලාගොස් සිටි අතර කලකට පසුව නැවතත් රජුගේ පුතෙකු වූ පරරාජශේකරම් රජු ලංකාවට පැමිණ උතුර පාලනය කළ සිංහල රජු සමග සටන් ආරම්භ කළා. එයින්ද විශාල මිනිස් සංහාරයක් සිදුවුණා.   


සටන්වලින් පසු පරරාජශේකරම් රාජ්‍ය කාලයේදී යළිත් සාමකාමී වටපිටාවක් ගොඩනැගුණු බව මූලාශ්‍රවල සඳහන්ව තිබෙනවා. එසේම මෙම කාලයේ සිටි මුණිවරයෙක් පෘතුගීසින් බලහත්කාරයෙන් රට අල්ලා ගන්නා බවත්, කෝවිල් විනාශ කරන බවත් ඉන්පසු ලන්දේසීන්, ඉංග්‍රීසින් පැමිණෙන බවත් අවසානයේ ලාංකිකයෙකුටම පාලනය අයිති වෙන බවත් ප්‍රකාශ කර ඇති බව මූලාශ්‍රවල සඳහන් වෙනවා.   


මීට පසු කාලයේ පාලනයට එන්නේ සංගිලි රජතුමා. ඔහු කෲර පාලකයෙක්. ඔහු සහ පෘතුගීසින් අතර ඇතිවූ ගැටුමක් පිළිබඳ තොරතුරු යාල්පානම් වෛපමාලෙයි පොතේ සඳහන් වෙනවා. මෙම සටන්වලින් ද විශාල මිනිස් සංහාරයක් සිදුව ඇති බව කියවෙනවා. උතුරේ සිට වව්නියාව දක්වා වූ සීමාවන් තුළ මේ සටන් ඇතිවී තිබෙනවා.   


ක්‍රි.ව. 1400 - 1620 වනතුරු කාලය මෙම සටන්වලට අයිති වෙනවා.   


මීට අමතරව ඉබන්බතුතාගේ වාර්තාවල සඳහන් වෙනවා යාපන​ෙය් මුතු පර සුල්තාන් කෙනෙකුට අයිතිව තිබූ බව. ඔහු සුල්තාන් ලෙස සඳහන් කරන්නේ ඒ කාලයේ යාපනය පාලනය කළ ආර්ය චක්‍රවර්ති රජකෙනෙක්ට.   


මුතු පිළිබඳව අධිකාරිය ඔහු සතු වූ බවත් මුතු කිමිදීමට මලබාර් හා පාණ්ඩ්‍ය වැසියන් ලංකාවට ගෙනැවිත් තිබූ බවත් සඳහන් වන අතර ඇතැම් අවස්ථාවල මුතු කිමිදීම සඳහා යෙදවූ ජනතාව වසංගත රෝගවලට ලක්ව සමූහ ලෙස මියගිය බවත් සඳහන් වෙනවා.   


මේ තොරතුරු දෙස බැලීමේදී පෙනී යන්නේ මන්නාරම සමූහ මිනී වළේ අස්ථිවල කාල නිර්ණය අනුව එක්කෝ වසංගත රෝගයකින් එහෙම නැත්නම් ආර්ය චක්‍රවර්ති රජවරුන් පාලනය කළ කාලයේ සිදුවූ මිනිස් සංහාරවලින් මියගිය පිරිසකගේ අස්ථි විය හැකි බවයි.

සටහන - කුමාරි හේරත්