මන්ත්‍රීන්ගේ තීරුබදු වාහන බලපත්‍රය නතර කරන්න මංගලගෙන් යෝජනාවක්


(අජන්ත කුමාර අගලකඩ)  

තීරුබදු සහන යටතේ වාහන ආනයන කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන බලපත්‍රය ද වසර පහකට හෝ නතර කළ යුතු යැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉකුත් අඟහරුවාදා (10) පැවැති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.  

හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදෙන ලෙස යෝජනා කරමින්, ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට විරෝධය පළකරමින් ඇමැති සමරවීර මහතා මේ බව සඳහන් කර ඇත.  


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබා දෙන්නේ නම්, පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඒ අවස්ථාව අහිමි කිරීම සාධාරණ නොවන බව ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර තිබිණි.  


ඊට පිළිතුරු දී ඇති මංගල සමරවීර මහතා එසේ නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන වාහන බලපත්‍රය ද වසර 5කට හෝ නතර කළ යුතු බව සඳහන් කර ඇත.