මධුෂ්ට පොලිසියෙන් ලැබුණු උදව්


පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම හා දේශපාලනය යනු මව, දරුවා හා පෙකණි වැල සේ එකිනෙක පෝෂණය වෙමින් එකිනෙකා මත රැඳී සිටිනා එකිනෙකාගේ පැවැත්ම මත තම තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන අංග තුනකි. 


මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නෙකුට හැම දෙයක්ම මුදලට ගත හැකි දේවල්ය. මත්ජාවාරම්කරුවා තමනට එන අභියෝග පාලනය කරන්නට මුදල් යොදා ගනී. එහෙත් මුදලින් ද පාලනය කළ නොහැකි ඇතැම් දේ පාලනය කිරීමට මැර බලයක් අවශ්‍ය වේ. ඒ නිසා ඔවුන් සිය ජාවාරම්වලින් උපයන මුදල් යොදවා තමන්ගේම පාතාල කණ්ඩායමක් හෝ වෙනත් පාතාල කණ්ඩායමක් සමග සමීප සබඳතාවක් හෝ පවත්වාගෙන යනු ඇත. 


ඔවුන්ට තමන්ගේ අපරාධ නීතියෙන් වසං කර ගැනීමට නම් පොලිසියේ සහය අවශ්‍ය වේ. පහළම නිලයේ සිට ඉහළම නිලය දක්වා වන ඇතැම් පොලිස් නිලධාරින් පාතාලයන්ගේ කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් බලයට යටවෙන බව ඉතිහාස අත්දැකීම්වලින් පැහැදිලිව දැකිය හැකිය. එහෙත් ඇතැම් නිලධාරින් එලෙස මුදලට ගත නොහැකිය. ඇතැමුන් තර්ජන ගර්ජනවලින් ද පාලනය කළ නොහැකිය. 


එවැනි අවස්ථාවල දී මෙන්ම වෙනත් රාජ්‍ය ආයතනවලින් කරගැනීමට සිදුවන නීතිමය කටයුතු මගහැර යාමට ඔවුන්ට දේශපාලනඥයින්ගේ සහය අවශ්‍ය වේ. දේශපාලනඥයින්ට ද එසේමය. ඔවුන්ට මේ පවතින මැතිවරණ ක්‍රමය මෙන්ම දේශපාලන ක්‍රමය තුළ බලය ලබාගැනීමටත් එය පවත්වාගෙන යාමටත් යහමින් මුදල් අවශ්‍යය. මැර බලය අවශ්‍යය. ඒ නිසා මේ අංශ තුන එකිනෙකට බැඳී පවතී. 


මී්ට අමතරව අද වන විට බන්ධනාගාර නිලධාරින්ගේ සහය ද මුදල් බලය භාවිතා කරමින් ලබාගැනීමට පාතාලයන් සමත්ව තිබේ. 


පාතාලයේ උදව් ලබාගන්නා දේශපාලකයන්ට ඔවුන්ගේ රහස් වැඩි ප්‍රමාණයක් දන්නා පාතාලයන් අභියෝගයක් වන අවස්ථා ද මතුවේ. ඔවුන්ගෙන් තමන්ගේ රහස් හෙළිවනු ඇතැයි යන බියක් ද ඇතැම් අවස්ථාවල මතුවේ. ඒ නිසා දේශපාලයකයන් විසින් තමන්ට උදව් කළ පාතාලයන් ඝාතනයට පෙලඹුණ අවස්ථා ද පවතී. ඒ සඳහා ඔවුන් නැවත වෙනත් පාතාල කණ්ඩායමක සහාය ලබාගනු ඇත. මේ ආකාරයට දේශපාලකයෙක් පාතාලයේ පිහිට ලබාගැනීම කොටි වලිගයක් අල්ලා ගත්තා වැනිය. අත්ඇරිය නොහැකිය. අත්ඇරීමට නම් තවත් එවැනිම කෙනෙකු ළංකර ගත යුතුය. කෙසේ වුවද සාදාකාලිකවම පාතාලය ළඟින් සිටිනු ඇත. 


එසේම පාතාලයන්ට දේශපාලකයන් ඇණයක් වන අවස්ථා, ඔවුන්ගෙන් තමන්ට අවශ්‍ය දේ ඉටුකරගන්නට නොහැකි අවස්ථා ද මතු වේ. එවැනි දේශපාලකයන් ඝාතනය කිරීමට එවිට අදාළ පාතාල නායකයන් කටයුතු කරනු ඇත. මෙලෙස විවිධ හේතු මත එකිනෙක බැඳී පවතින මේ සබඳතාව බිඳීම පහසු නැත. දේශපාලකයාගේත් පොලිසියෙත් රැකවරණය හා ආශිර්වාදය ලැබෙන තාක් සුරැකේ. පාතාලයත් මත්ද්‍රව්‍ය ජාලයත් මෙවැනි දේශපාලනඥයින්ගේ පැවැත්මත් තහවුරු කරන සමාජ ක්‍රමයක් පවතින තාක් පාතාලය හෝ මත්ද්‍රව්‍ය ජාවාරම හෝ අල්ලස දූෂණය හෝ සම්පූර්ණයෙන් නැති කිරීම සිහිනයක් පමණක් වනු ඇත. 


 කඹුරුපිටියේ මධුෂ් නොහොත් මාකඳුරේ මධුෂ් ගැන කතා කරන විට ද මේ එකිනෙක සම්බන්ධතා විසින් සිදුකළ කාර්යභාරය අමතක කළ නොහැකිය. මධුෂ් අපරාධකාරයෙක් බවට පත්වීමට බලපෑ සමාජ පසුබිම ගැන නැවත නැවත කතා කිරීම අවශ්‍ය නොවනු ඇත. එය අපි ඇති තරම් කතා කර ඇත්තෙමු. එහෙත් මොන යම් හේතුවක් නිසා හෝ මැරයෙකු බවට අපරාධකාරයෙකු බවට පත්වූ මධුෂ්ගෙන් මුලින්ම වැඩ ගත්තේ දේශපාලනඥයෙකි. ඩැනී හිත්තැටිය ඝාතනයට මධුෂ්ට ඕනෑ තරම් හේතු තිබූ අතර පෙර කී දේශපාලනඥයා ද ඊට උල්පන්දම් දුන් බව ද පැවසේ. 


 මධුෂ් හිරෙන් නිදහස් වූ පසුව ඔහුට රටින් පලායාමට ඉන්දියාවෙන් රාහු නම් අයෙකු විසින් මන්නාරම් වෙරළට එවන ලද අධිවේගී බෝට්ටුව කරා ඔහු රැගෙන ගියේ ද දේශපාලනඥයකුට අයත් වාහනයකින් බව ද පැවසේ. මධුෂ්ගෙන් ප්‍රතිලාභ ලැබූ දේශපාලනඥයින් විසිදෙනෙකු සිටින බවට ද වාර්තාවෙමින් තිබේ. මධුෂ් තමන්ගේ කාර්යය කර ගැනීමට ඕනෑම අයෙකුට මුදල් ලබාදීමට පසුබට නොවේ.


 කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද දකුණු පළාත නියෝජනය කරන ඇමතිවරයෙක් ද ඒ අතර ප්‍රධාන වෙති. ප්‍රභූ ඝාතන සැලැස්මේ දී මධුෂ් සම්බන්ධ කරගැනීමට අතරමැද ගනුදෙනුව සිදුකර තිබෙන්නේ මේ ඇමතිවරයා බව ද දැනගන්නට තිබේ. එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට ද මේ වන විට මධුෂ්ගෙන් මුදල් ගත් බවට චෝදනා එල්ල වී තිබේ. 


 මධුෂ් සිය ආච්චි අම්මා මියගිය පසුව මළ ගෙදරට සහභාගි වී තිබෙන්නේ ද විදේශගතව සිට හොර රහසේ පැමිණය. ඔහු පොලිස් ඇස වසා පැමිණියේ කෙසේද? ඊට දේශපාලන සහයක් මෙන්ම ඇතැම් උසස් පොලිස් නිලධාරින්ගේ සහයක් ද ලැබී තිබුණ බවට ද වාර්තා වේ. 


 මීට අමතරව පළාත් සභා පළාත් පාලන මන්ත්‍රීවරු රැසක්ම මධුෂ්ගෙන් ප්‍රතිලාභ ලබමින් යම් යම් කාර්යයන්ට අවශ්‍ය වටපිටාවන් සකස් කර දී ඇති බව ද දැනගන්නට තිබේ. ඇතැම්විට සෘජුවම මධුෂ් සම්බන්ධ නොවන අතර ඔහුගේ ගෝල බාලයින් වන අංගොඩ ලොක්කා වැන්නන් සම්බන්ධ වන අවස්ථා ද තිබේ. කොළඹට නුදුරු පළාත් පාලන ආයතනයක ප්‍රධානියෙක් ඉඩම් ගොඩකිරීමේ ජාවාරමක් කරගෙන යාමට අංගොඩ ලොක්කාගේ මැර බලය යොදා තමන්ගේ එදිරිවාදීන්ට පහර දී ඇති බව ද දැනගන්නට තිබේ. මේ වන විට එලෙස පහර කෑ කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටී. 


 මධුෂ් තමන්ට අවශ්‍ය ඇතැම් පුද්ගලයන් අත්අඩංගුවට පත් වූ පසු ඔවුන්ට ඇප ලබාගැනීමට අවශ්‍ය පරිදි බී වාර්තා සකස් කරගන්නේ පොලිස් නිලධාරීන්ට සුළු සන්තෝෂම් ලබාදීමෙනි. එසේම රිමාන්ඩ් භාරයේ පසුවන ඇතැම් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර බන්ධනාගාරයෙන්ම අතුරුදන් කර ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හෝ ජේලර්වරුන්ට සන්තෝෂම් ලබාදීම ද ඔහු විසින් සිදුකරනු ලැබේ. සමයං ඝාතනයේ දී සමයං ගෙන යන වෙලාවන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට මෙන්ම එහි පවතින දුර්වලතා හඳුනාගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදීමට ද මධුෂ්ට බන්ධනාගාරයේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ලැබී ඇති බවට ද සැකයක් පවතී. 


 යුද්ධය පැවති කාලයේ උතුරේ කුඩු ජාවාරම කරගෙන ගොස් තිබෙන්නේ මීට වසරකට පමණ පෙර ආමර්වීදියේ දී වෙඩි කා මිය ගිය ඇන්තනී රාජ් ය. කොටින්ගේ සහාය නැතිවීමත් සමග කොළඹට පැමිණ එල්ටීටීඊ සහාය ලැබූවෙක්ම වන පුකුඩු කන්නා සමග එක්ව ඔහු එම ජාවාරම කරගෙන ගියේය. ඔහුගෙන් පසු උතුරේ මත්ද්‍රව්‍ය ජාවාරම අතට ගත්තේ දුෂ්‍යන්දන් ය. මොහු සමග රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියෙකු ගනුදෙනු කර ඇති බවට ද අනාවරණය වී ඇතැයි පැවසේ. 


දුෂ්‍යන්දන් පොට්ටු අම්මාන්ගේ ළඟම ඥාතියෙක් බව ද පැවසේ. ඔහු දකුණේ පාතාලය සමග ද සම්බන්ධකම් පවත්වන්නෙකි. ඒ මාකඳුරේ මධුෂ් සමගය. පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ උතුරේ රැලියකට විශාල වැයක් දුෂ්‍යන්දන් දරා ඇති අතර එය සිදුවී ඇත්තේ පෙර කී නිලධාරියාගේ මාර්ගයෙන් බවටත් ආරක්ෂක අංශවලට වාර්තා වී ඇති බව ද දැනගන්නට තිබේ. දැන් දැන් වාර්තා වන විවිධ ඝාතන කුමන්ත්‍රණ හා සලකා බලන කල ඒ ගනුදෙනු කිසිසේත්ම රාජ්‍ය ආරක්ෂාවට ශුභදායී නොවනු ඇත. 


 මධුෂ් සමග එක්වූ පොලිසියේ ඇතැම් විශේෂ ඒකකවල නිලධාරිහුද සිටිති. ඇතැමෙක් මධුෂ්ගෙන් ප්‍රතිලාභ ලබා පසුව රැකියාව අත්හැර පාතාලයටම සම්බන්ධ වී ඇත. නඳුන් ධර්මප්‍රිය නොහොත් එස්ටීඑෆ් නඳුන් නමැති දැනට ඩුබායිවල සැඟවී සිටින පාතාලයා  එවැන්නෙකි. ඔහු මුලින්ම ගනුදෙනු කළේ කොස්ගොඩ සුජී සමගය. එසේම මධුෂ්ගේ කල්ලියේ සිටින ලොකු පැටීගේ අයියා සංජීව ඇතුළු තවත් පාතාල සාමාජිකයන් රැසක්ම හිටපු යුද හමුදා සෙබළුන් ය. 


 පසුගියදා ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූවන් අතර වැඩ තහනමට ලක්වූ බන්ධනාගාර නිලධාරියෙකු හා දැනටත් සේවයේ නියුතු කෙටි කලකට නිවාඩු ලබා සිටි බන්ධනාගාර නිලධාරියෙකු ද සිටි බව පැවසේ. 


 මසකට පමණ පෙර තංගල්ල කුඩා වැල්ලේ දී සිදුවූ වෙඩි තැබීමට ද මධුෂ්ගේ කල්ලියේ සම්බන්ධයක් ඇති බව අනාවරණය වී තිබේ. මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට පත් එක් සැකකරුවෙකු හා ගිනිඅවියක් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නැති අතර සැකකරු මුදාහැර ඇති බවට ද දැනගන්නට තිබේ. ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කිසියම් පොලිස් කණ්ඩායමක් පිටුපස ද මධුෂ්ගේ මුදල් ගැවසෙන බවට සැකයක් මතු වේ. 


 මධුෂ්ගේ තර්ජන නිසා තම තනතුරු අත්හැර දැමූ පොලිස් නිලධාරීන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් ද සිටින බවට ද තොරතුරු තිබේ. ඇතැම් නිලධාරීන්ට මධුෂ් තර්ජනය කර තිබෙන්නේ ඔවුන්ගේ පවුලේ සියලු විස්තර සොයා බලා ඇතැම් විට දරුවන් පාසල් යන ආකාරය පවා සොයාගෙන ඒවා අදාළ නිලධාරින්ට දැනුම් දී තමන්ට අවශ්‍ය වෙලාවක ඕනෑම හානියක් ඔවුන්ට කළ හැකි බවට ඒත්තු ගන්වමිනි. එවැනි තර්ජන හමුවේ රැකියාවෙන් ඉවත්වූ කිසිවෙක් කිසිම තැනක පැමිණිල්ලක්වත් සටහන් කර නැත. 


 එසේම මධුෂ්ගේ තර්ජන හමුවේත් තමන්ගේ කාර්යය කරගෙන යන පොලිස් නිලධාරීහු ද සිටිති. ඇතැම් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන ඇත. මධුෂ්ගේ මැණික් කොල්ලය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ද මධුෂ් අත්අඩංගුවට පත්වීමට පෙර බලපෑම් කර ඇති බවට ද දැනගන්නට තිබේ.

 

 

මුදිතා දයානන්ද