මත ගැටුමෙන් නැගෙනහිර ජැටියේ දොඹකර තවම මග


(උපුල් වික්‍රමසිංහ)  

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිරි මෙහෙයුම් කටයුතු සඳහා දොඹකර යන්ත්‍ර 14ක් ඇනවුම් කිරීමට යෝජනා වී ඇති නමුත් ගෙන්වන්නේ ග්‍රැන්ටි දොඹකර ද ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන දොඹකර (automation craines) ද යන කාරණය සම්බන්ධයෙන් වරාය අධිකාරියේ වෘත්තීය සංගම් අතර එකඟත්වයක් ඇති නොවීමෙන් එම කටයුතු ප්‍රමාද වෙමින් තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි. 

වාර්තාවෙන තොරතුරුවලට අනුව වරාය ඉංජිනේරු සංගමය හා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ අදහස වී ඇත්තේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන දොඹකර සඳහා අධික මිලක් වැයවෙන නිසාත් ඒවා ගෙන්වීමෙන් වරාය සේවකයන්ගේ රැකියා කප්පාදු වීමක් සිදු විය හැකි නිසාත් ග්‍රැන්ටි දොඹකර ගෙන්වීම වඩාත් වාසිදායක බවය. කෙසේ වෙතත් වරාය වෘත්තීය සමිති කීපයක අදහස වී තිබෙන්නේ ඉදිරියේ දී ඉන්දියාව වරායේ බටහිර පර්යන්තය ගොඩනැගුව​හොත් ඊට තරගයක් ලබා දීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන දොඹකර ගෙන්වීම ඵලදායක බවත් ඒවා නඩත්තුවට විශාල මුදලක් වැය නොවන බවත්ය.  
ඇනවුම් කළ යුතු දොඹකර ඇතුළු යන්ත්‍රෝපකරණ සම්බන්ධයෙන් මේ ආකාරයේ පරස්පර විරෝධී මත පවතින හෙයින් වරාය අධිකාරියේ පාලනාධිකාරියට මෙතෙක් ඒ ගැන අවසන් තීන්දුවක් ගැනීමට නොහැකි වී ඇති බව ද පැවසෙයි.