භාණ්ඩ මිල ඉහළ යාමෙන් නිවාස ඉදිකිරීම් අඩාළ වෙලා


(ශිරාන් රණසිංහ)  

බ්ලොක් ගලක් බැඳීම සඳහා වැයවෙන වියදම රුපියල් 110ක් පමණ දක්වා ඉහළ යාම නිසා නිවාස ඇතුළු සාමාන්‍ය ඉදිකිරීම් කටයුතු සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇතැයි ඉදිකිරීම් සමාගම් කියා සිටිති.  

ඒ අනුව බ්ලොක්ගල් 1000 ක් බැඳීම සඳහා රුපියල් එක්ලක්ෂ දසදහසක පමණ වියදමක් යන බව ද ගණන් බලා ඇත.  


මේ වන විට මේසන් බාස් කෙනෙකු රුපියල් 2500 සිට 2800 දක්වා දෛනික කුලියක් අයකරන අතර කම්කරුවෙකුට රුපියල් 1800 ක් පමණ ගෙවීමට සිදුව තිබේ.  


මේ වන විට වෙ​ෙළඳපොළේ බ්ලොක් ගලක මිල රුපියල් 40ක් පමණ වෙන අතර බාස්කුලිය ලෙස ගලක් බැඳීමට යන වියදම රුපියල් 30කි. ඒ අනුව සිමෙන්ති, වැලි හා සිදුවන නාස්තිය ගණනය කිරීමේදී බ්ලොක් ගලක් බැඳදීමට රුපියල් 110 ක් පමණ වැය වෙන බව ද ඉදිකිරීම් සමාගම් කියා සිටිති. මෙම වියදම් ග්‍රාමීය මට්ටමේ සිට නාගරික මට්ටමට යන විට තවත් ඉහළ යන බව ද මහා පරිමාණ සමාගම්වල ඉදිකිරීම් හැර රට තුළ නිවාස ඉදිකිරීම් කටයුතු සැලකිය යුතු මට්ටමින් අඩු වී ඇතැයි ද පැවසීය.  


බදු බර, ආහාර පාන ඇතුළු වියහියදම් ඉහළ යාම ද මීට බලපා තිබේ.