බෝම්බ තර්ජන මැද්දේත් සේවයට පැමිණි රජයේ සේවකයින්ට සහනයක්


(දයාසීලි ලියනගේ)   

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පමා වී හෝ සේවයට පැමිණි රජයේ සේවකයන්ට සහනයක් සැලසීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.   

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී රාජ්‍ය පරිලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේ පාස්කු දිනයට පසුව රජයේ සේවකයන් විශාල පිරිසක් සේවයට වාර්තා කළ බවයි.   


ප්‍රවාහන අපහසුතා නිසා ප්‍රමාදවී හෝ සේවයට වාර්තා කළ රජයේ සේවකයන්ට සහනයක් ලැබෙන බවද ඔහු කීය.   


ත්‍රස්තවාදී ක්‍රියාව නිසා විවිධ හේතු මත සේවයට වාර්තා නොකළ අයට යම් සහනයක් ලබා දෙන්නේ දැයි අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එම නිලධාරියා ප්‍රකාශ කළේ අපහසුවෙන් හෝ සේවයට වාර්තා කළ අයට අසාධාරණයක් කළ නොහැකි බවයි. සේවයට නොපැමිණි අය සිය පෞද්ගලික නිවාඩු ලබා ගත යුතු බව ද ඔහු කීය.   
මේ අතර පාස්කු ඉරිදා ප්‍රවාහනය අපහසුතා නිසා සේවයට පැමිණීමට නොහැකි වූ රජයේ සේවකයන්ට විශේෂ නිවාඩු ලබාදෙන ලෙසට වෘත්තීය සමිති ගණනාවක් මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.