බෙලිඅත්ත-කතරගම දුම්රිය මාර්ගය ටෙන්ඩර් නොමැතිව චීන සමාගමකට දීලා


 

(දයාසීලි ලියනගේ)  

බෙලිඅත්ත-කතරගම දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී සක්‍යතා අධ්‍යයන වාර්තාවක් ලබා ගැනීමට ටෙන්ඩර් කැඳවන ලෙසට මුදල් අමාත්‍යාංශය කරන ලද නිර්දේශය නොසලකා හරිමින් චීන සමාගමකින් එම වාර්තාව ලබා ගැනීමට යයි.  

මීට අමතරව කොරියානු සමාගමක් හා මොරටුව විශ්වවිද්‍යාලය මගින් මාතර-කතරගම දුම්රිය මාර්ගය සඳහා සක්‍යතා අධ්‍යයනයක් කර වාර්තාවක් බාරදීමක් කර තිබියදීත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව සක්‍යතා අධ්‍යයන වාර්තාව ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.  


මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට බාර ගත් චීනයේ සී.එන්.සී. ආයතනය, එම ඉදිකිරීම් ‘චයිනා රේල්වේ අංක 5 ඉංජිනේරු ආයතනයට’ උපකොන්ත්‍රාත්තුවක් බාර දී සියයට 27 ක කොමිස් මුදලක් ලබා ගෙන ඇති බව අනාවරණය වී ඇතැයිද හඳුන්නෙත්ති මහතා කීය.  


බෙලිඅත්ත, හම්බන්තොට, කතරගම මාර්ගය කිලෝමීටර් 68ක් වන අතර ඇමෙරිකනු ඩොලර් මිලියන 500ක මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබේ. එම කොමිස් මුදල් ලබා ගත් ආයතනයටම ටෙන්ඩර් කැඳවීමකින් තොරව බෙලිඅත්ත කතරගම මාර්ගයේ සක්‍යතා අධ්‍යයන කටයුතු බාරදීමට තීරණය කර ඇතැයිද හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.  
ටෙන්ඩර් කැඳවීමකින් තොරව ව්‍යාපෘති ඉදිකිරීමට බාරදීමේදී සක්‍යතා අධ්‍යයනය කරනු ලබන ආයතනයටම ඉදිකිරීම් බාරදීමක් සිදු කෙරේ. ඒ අනුව මෙවරත් මෙම ආයතනයට කොමිස් ලබා ගැනීමේ අවස්ථාව උදාකර දී ඇතැයිද හඳුන්නෙත්ති මහතා කීය.