බී.එම්.ඩබ්ලිව්. වාහන මගඩිය ගැන රේගු පරීක්ෂණ යළි ඇරැඹෙයි


 

(දයාසීලි ලියනගේ) 

අධි සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ වාහනවල කොටස් මෙරටට ගෙන්වා එකලස් කර වාහන 100ක් විකිණීමේ සිද්ධිය පිළිබඳව යළි පරීක්ෂණයක් කිරීමට රේගු අධිකාරිය තීරණය කර ඇත.

වර්ෂ 2015 දී සිදුවී ඇති මෙම සිද්ධියට අදාළ රේගු පරීක්ෂණ හරියාකාරව නොකිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව දැනටමත් රේගු පරීක්ෂකවරුන් හය දෙනෙක් නිවාඩු යවා ඇති බව සඳහන් වේ. 


මෙම සිද්ධියට ප්‍රධාන පෙළේ ඇමැතිවරයෙක් සම්බන්ධ බවට තොරතුරු වාර්තා වී තිබූ අතර ඔහු ප්‍රධාන පෙළේ ඇමති තනතුරක් දරද්දී මෙම සිද්ධිය යටපත් වූ බවට චෝදනා ඇත. මෙම වැඩ පිළිවෙළ පිළිබඳ දැනට අධිකරණයේ නඩු රැසක් විභාග වෙමින් තිබෙන බවද වාර්තා වේ. බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ එක් වාහනයක වටිනාකම රුපියල් කෝටි 3කට අධිකය. රජයට අතිවිශාල මුදලක් බදු වශයෙන් ලැබීමට තිබූ අවස්ථාව අහිමි කරමින් සිදු කරන ලද මෙම වංචනික ක්‍රියාව පිළිබඳව පරීක්ෂණ විනිවිද භාවයෙන් සිදු කිරීම සඳහා මෙම පරීක්ෂණ යළි පැවැත්වීමට තීරණය කර ඇත. 


මේ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගෙන් කළ විමසීමේ දී ප්‍රකාශ කළේ එවැනි පරීක්ෂණයක් පැවැත් වෙන නමුත් අධිකරණ ක්‍රියාමාර්ග නිසා වැඩි විස්තර ප්‍රකාශ කළ නොහැකි බවයි.