බියර් බද්ද අඩු කළාට ජනපතිගේ අප්‍රසාදය


(අජන්ත කුමාර අගලකඩ)   
කෑන් බියර් බද්ද මෙවර අයවැයෙන් ලීටරයකට රුපියල් 100 කින් අඩුකිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ ඇමැතිවරුන් කිහිප දෙනෙකුගෙන් එකඟතාවක් පළවී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.   

අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එය අනුමත කර ගැනීම සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (09) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ද තවත් ඇමැතිවරුන් කිහිප දෙනෙකු ද බියර් බද්ද අඩු කිරීමට තමන් එකඟ නැති බව ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.   


බියර් බද්ද අඩු කිරීමට එකඟ නොවන බවට අදහස් පළකර ඇති ඇමැතිවරුන් අතර දොස්තර රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන් දෙදෙනාද වන බව දැනගන්නට ඇත.   


මෙම ඇමැතිවරුන් දෙදෙනා ද බ්‍රහස්පතින්දා පැවති කැබිනට් රැස්වීමේදී බියර් මිල අඩු කිරීමේ තීරණය දැඩි ලෙස විවේචනය කර ඇතැයි වාර්තා වේ.   


නීති විරෝධි මත්පැන් බොන පුද්ගලයින් ඉන් මුදා ගැනීම සඳහා බියර් වැනි සැහැල්ලු මත්පැන් වර්ගවල මිල අඩුකළ යුතු බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා එම රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි ද එහෙත් එය ප්‍රායෝගික කටයුත්තක් නොවන බව මෙම ඇමැතිවරුන් දෙදෙනා ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.