බැඳුම්කර වංචාවේ දස දෙනකුට මහාධිකරණයේ අධි චෝදනා


(මනෝප්‍රිය ගුණසේකර)  
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ දී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ඉදිරි සතිය තුළ ස්ථිර විශේෂ ත්‍රී පුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා මත නඩු පවරන බව වාර්තා වේ.  

ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එහි අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දසදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කොට ඇති බව ද වාර්තා වේ.  


මෙම රජය බලයට පත් වී මාස දෙකක පමණ කාලයක් තුළ සිදුවූ මෙම බැඳුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවූ අහිතකර බලපෑම, බැඳුම්කර වංචාවේ බරපතළකම මෙන්ම සංකීර්ණත්වය සැලකිල්ලට ගනිමින් මෙම නඩුව ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණය හමුවේ පැවරීමට අවසර දෙන්නැයි නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලබාදීම නිසා මෙසේ නඩු පවරන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.  


2015 පෙබරවාරි මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී සිදුකළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ දී රජයට රුපියල් කෝටි දශලක්ෂ පන්දහස් අටසීයයක් (10,05,800/-) වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ සියලුම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා නැඟීමට නීතිපතිවරයා තීරණය කොට ඇත.  


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 පෙබරවාරි මස 27 වැනිදා සිදුකළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ දී සිදුවූ මෙම අපරාධයට අදාළව පොදු දේපළ පනත යටතේ මෙන්ම ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ අධි චෝදනා 23ක් විත්තිකරුවන්ට එරෙහිව නැගීමට නීතිපතිවරයා තීරණය කොට ඇත. මෙම අපරාධය සම්බන්ධයෙන් අධි චෝදනා නැගීමට නීතිපතිවරයා තීරණය කොට අත්තේ ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්, මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, එහි අධ්‍යක්ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එහි සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, එම සමාගමේ සේවකයින් වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන්ට එරෙහිවය.