බැඳුම්කර ලොක්කන් අත්අඩංගුවට ගත් සී.අයි.ඩී. මෙහෙයුම


 

70 වැනි නිදහස් සමරුව යෙදී තිබුණේ පසුගිය 04 වැනිදාය. මහත් උද්යෝගයකින් යුතුව එදින හිමිදිරියේදීම අවදි වූයේ නිදහසේ ප‍්‍රබෝධයත් ඇතිවමය.   


උදේම කන්තෝරුවට යෑමට අවශ්‍ය වු නිසා කඩිමුඩියේම ලක ලැහැස්ති වීමි. අඳුර බිඳිමින් අවට ආලෝක ​ෙවන්නට විය. ඒත් වෙනදා තරම් ආලෝකයක් නිදහස් දා පෑයු ඉරුගෙන් නිකුත් වූයේ නැද්ද යන්න හිතෙන තරමට නිදහස් දා ආලෝකය වෙනදා අහසේ ඇති දීප්තිමත් ආලෝකය නොවේ.   


බැඳුම්කර වංචාවට සැකකාරයන් ලෙස නම් කළ අර්ජුන් ඇලෝසියස් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක කසුන් පලිසේන සීඅයිඩිය අත්අඩංගුවට ගත් ආරංචිය අප වෙත ලැබිණ.   


මානුෂීය මෙහෙයුමේදී උතුරු කොණේ මහා ඝණ වනාන්තර පීරමින් සතුරු බළකොටු සොයා යෑම ආරම්භ කළ සේ දින කිහිපයක් තුළ සීඅයිඩිය සිය ඉලක්ක නිසි ලෙස ගත්හ.   


එක් වසරක් තුළදී පමණක් පාරිතෝෂික දීමනා ලෙස රුපියල් කෝටි 10ක් ලැබුණු බව බැඳුම්කර කොමිසම හමුවේ හෙළි වූ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනගේ නිවස ඔවුන්ගේ පළමු ඉලක්කය විය.   


මුදල් ගෙවමින් තමන්ගේ රහස්‍ය භාවය තමන්ම නැති කර ගන්නා තමන්ගේ ජංගම දුරකතනයට පින්සිදු වන්නට රහස් පොලිස් නිලධාරීන්ට වැඩි වෙහෙසක් දැරීමට නොමැතිවම සැකකරුවන් ඉලක්කයට ගැනීමට හැකියාව ලැබිණි.   


පෙර දින රාත‍්‍රීයේ සිටම වැල්ලවත්ත අර්තුෂා පාරේ පිහිටි අංක 21 දරන කසුන් පලිසේනගේ නිවසට එල්ල කරගෙන තිබු උකුසු ඇස් වලට වැරදී තිබුණේ නැත.   


යුද පෙරමුණේ අතිශය භයානකම අවස්ථාවන්ගෙන් එකක් වන ‘ෆස්ට් ලයිට්’ එක වැනිම වු අයුරින් 70 වැනි නිදහස් දා වැල්ලවත්ත හා කොළඹ සිටි රහස් පොලිස් නිලධාරීන් ‘ෆස්ට් ලයිට්’ එකට සිය ​ෙමහෙයුම සැළසුම් කළහ.   


මුලින්ම වැල්ලවත්ත අර්තුෂා පාරේ පිහිටි අංක 21 දරන කසුන් පලිසේනගේ නිවසට කඩා වැදුණු රහස් පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත්හ. රහස් පොලිස් නිලධාරීන් කඩා වැදුනේ නිවසකට කීවාට එය නිවසක්ම නොව මන්දිරයක් විය. නිවසේ අය අඳෝනා, මැසිවිලි නැගුවත් රහස් පොලිස් නිලධාරීන්ට එය බාධාවක් නොවීය. කළු අත්කොට ටී ෂර්ට් එකකින් සහ කලිසමකින් සැරසුණු කසුන් පලිසේන විරෝධයක් නොපෙන්වාම රහස් පොලිස් නිලධාරීන්ගේ ජීප් රථයට ගොඩවිය. එවිට වේලාව උදෑසන 7.00 පසුවුවා පමණය. ඒ සැණින් කොළඹ 07 ස්ථානයක ස්ථාන ගතවී සිටි රහස් පොලිස් නිලධාරීන්ට ඇමතුමක් ලැබුණේ ‘වැඩේ හරි’ කියමිණි.   


ඒ ඇසිල්ලේ කොළඹ 07, ක්වින්ස් ඇවනියු අංක 07 දරන ස්ථානයේ පිහිටි අර්ජුන් ඇලෝසියස්ගේ නිවසට රහස් පොලිස් නිලධාරීන් කඩා පැන්නාහ. ෆස්ට් ලයිට් එකේ ස්ථාන දෙකක සැලසුමකට අනුව සිදුකළ මෙහෙයුම සාර්ථක විය.   


රටේ හදවත පාලනය කළ ඉහළම තනතුරක් හෙබවු සිය මාමණ්ඩියට පිං සිදු වෙන්නට කෝටි ගණනින් මුදල් ඉපයු බව කියන ඇලෝසියස් මහතාට සිතා ගැනීමටවත් කාලයක් නොවීය. මට ලැහැස්ති වෙන්න ටික වේලාවක් ඕනැ. මට ටික වේලාවක් දෙන්න පුළුවන්ද? රාජකීයම නොවුණත් රාජකීය භාවය විදහා පාමින් සිටි අයෙකුගේ ඉල්ලීමක් අහක දැමිය හැකිද?   


රහස් පොලිස් නිලධාරීන්ගේ ඇස් පෙනෙනා මානයේ සිට ලක ලැහැස්ති වීමට අවසර ලැබුණු අර්ජුන් ඇලෝසියස් මහතා සුදු අත්දිග ඉරි වැටුණු කමිසයට මනාව ගැලපෙන කලිසමක් හැඳ සපත්තු පැළඳ ගත්තේය. කමිස කොළරය බෙල්ලට හිරවන සේ ටයි පටියක්ද පැළඳ ගත්තේය.   


රහස් පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වී බිරිඳ සහ ඥාති හිතමිතුරන් කිහිප දෙනෙකු පෙරටු කර ගනිමින් රහස් පොලිස් නිලධාරීන්ගේ උකුසු ඇස් මානයේ සිටිමින් ඇලෝසියස් මහතා නිවසින් පිටතට එනවිට මාධ්‍යවේදීන්ද සිය කුරුමානමට ඉලක්ක ගනිමින් සිටියහ. පවුලේ අයගෙන් විරෝධතා මතවූවද මාධ්‍යවේදීහු ඔවුන්ගේ ඡායාරූප ගැනීමට සමත් වූහ.   


දක්‍ෂ කැමරාකරුවන්ගෙන්ගේ කැමරා කාච වලින් හැංගීමට ඔහුට නොහැකි විය. ඥාතීන්ගෙන් මෙන්ම මාධ්‍යවේදීන්ගෙන්ද තම සැකකරු ආරක්‍ෂා කරගත් රහස් පොලිස් නිලධාරීන් ඔහු රහස් පොලිසියට ගෙන ගියහ.   


අපරාධයක් කොට සැඟවී සිටියවුන් බෙහෝමයක් කොළ නැති ගහට ගෙන යන්නට මංපෙත් විවර කළ දක්‍ෂ විමර්ශකයින් දෙදෙනෙකු අධ්‍යක්‍ෂ ධුරය හා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධුරය දරන රහස් පොලිස් විමර්ශකයින් සිය කටයුතු ආරම්භ කළහ.   


අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත​ෙම්න්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා සහ එම දෙපාර්ත​ෙම්න්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පියසේන අම්පාවිල මහතා ඇතුළු නිලධාරීන් සිය කටයුතු ආරම්භ කළහ.   


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා එක් අවස්ථාවකදී කොළඹ මහාධිකරණයේ විභාගයට ගත් එක්තරා නඩුවක සාක්කි දෙමින් පිළිගත් පරිදි ඔහු ඇතුළු රහස් පොලිස් නිලධාරීන් මෙම නඩුව හැදීමට පටන් ගත්හ.   


ඒ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2016 නොවැම්බර් මස 25 වැනිදා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරමින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී අනාවරණය නොකළ යුතු මූල්‍ය සංවේදිතාවයක් ඇති රහස්‍ය තොරතුරු මහ බැංකුවේ යම්කිසි පාර්ශ්වයක් විසින් පිටස්තර පාර්ශ්වයකට ලබාදී ඇද්ද යන්න සම්බන්ධ​ෙයන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කළ දා සිටමය.   


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා කොළඹ මහාධිකරණයේ විභාගයට ගත් එක්තරා නඩුවක සාක්කි දෙමින් සිටින විට විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හරස් ප‍්‍රශ්නයක් නගමින් ඔබ මේ නඩුව හැදුවා නේද? විමසීය. ශානී අබේසේකර මහතා ‘ඔව්’ යනුවෙන් ඊට පිළිතුරු දුන්නේය. සාමාන්‍යයෙන් අනෙකුත් පොලිස් නිලධාරීන් මෙවැනි ප‍්‍රශ්නයක් හමුවේදී ‘නැත’ එහෙමත් නැත්නම් ‘නීතිඥ මහතාගේ යෝජනාව මං පිළිගන්නේ නැහැ’ යනුවෙන් පැවසුවත් නඩුව හැදු බවට ශානී අබේසේකර මහතා කළ පිළිගැනීම නිසා සියල්ලෝ එකිනෙකාගේ මුහුණු බලා ගත්හ. විත්තියේ නීතිඥ මහතා මහත් ගාම්භීර ලීලාවකින් හිස ඔසවා බැලූවේ දැන් ඉතිං නඩුව ඉවරයි කියන්නා සේය.   


නඩුව හැඳීම පිළිබඳව අධිකරණය හමුවේ පැහැදිලි කළ ශානී අබේසේකර මහතා අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ ඇති වගන්ති 458 ට දණ්ඩ නීතී සංග‍්‍රහයේ ඇති වගන්ති 490 ට මෙන්ම සාක්කි ආඥා පනතේ ඇති වගන්ති 167 වලට අනුකූල වන පරිදි, මහජනතාවගේ බදු මුදල් වලින් රජය තමන්ට පඩි ගෙවන්නේ නඩු හදන්න නම් තමන් නීතියට අනුකූලව නඩුවක් ඔප්පු කිරීමට තිබිය යුතු අංග 05 යටතේ පැමිණිල්ල සටහන් කරගනිමින් නඩු හදන බව පිළිගත්තේය.   


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා මහාධිකරණය හමුවේ සාක්කි දෙමින් පිළිගත් අන්දමට හැදු බැඳුම්කර නිකුතුවට අදාළ නඩුව තව තවත් කොන්ක‍්‍රීට් කරමින් බැඳුම්කර කොමිසම හමුවේදීත් ප‍්‍රකාශයක් දීමට නොහැකි බව කී අර්ජුන් ඇලෝසියස්ගෙන් රහස් පොලිස් නිලධාරීහු ප‍්‍රකාශ සටහන් කර ගත්හ.   


‘බබා හම්බුවෙන්නත් කළින් බබාට දාන්න නම් හොයනවා’ කියන්නා සේ අර්ජුන් ඇලෝසියස්ගෙන් රහස් පොලිස් නිලධාරීහු ප‍්‍රකාශ සටහන් කරගෙන අවසන් කිරීමටත් මත්තෙන් ‘මේ දෙන්නා දාන්නේ කොයි උසාවියටද? උසාවි දාන්නේ කීයටද? යනුවෙන් ප‍්‍රශ්න කරමින් මාධ්‍ය සහෝදරයින්ගෙන් කෝල් වැළකි.   


අද උසාවියේ වැඩ බලන්න ඉන්නේ අහවල් මහත්තයානේ, එයා වේලාසනින් යනවා. එයා ළඟටද දාන්නේ නැත්නම් කොටුව උසාවියටද දාන්නේ? අදම දායිද? රාත‍්‍රියේ ගෙදරට දායිද? හෙට උදේ කොටුව උසාවියට දායිද? ඩී.ඕ. ගහයිද? ප‍්‍රශ්න වැළකි.   


ඒ අතර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥවරුන්ට දැනුම්දීම් කිරීමෙන් අනතුරුව නීතිඥවරුන් කණ්ඩායක් කොටුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඇති සියළු ගේට්ටු ආවරණය වන පරිදි ඒ ආසන්නයේ සිටියහ. තම සේවාදායකයින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවහොත් මහෙස්ත‍්‍රාත්වරයා හමුවේ පෙනී සිටිමින් ඔවුන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමේ අභිලාෂයෙනි.   
ඒත් රහස් පොලිස් නිලධාරීන් ඉතා සුක්‍ෂම වූහ. රහස් පොලියේ සියලු ගේට්ටු ආවරණය වන පරිදි සිටි නීතිඥවරුන් හා මාධ්‍යවේදීන් මඟහරිමින් සැකකරුවන් දෙන්නා ඉතා සුක්‍ෂම අයුරින් රහස් පොලිසියෙන් පිටතට ගෙන ගියහ.   


උදේ සිට හවස් වෙනතුරු අලුත්කඩේ උසාවිය අසළ දහදුක් විඳිමින් සිටි ඡායාරූප හා වීඩියෝ මාධ්‍යවේදීන්ට නම් නිවනක් නොවීය. ඒ අතර රාත‍්‍රී 10.00ට පමණ ලැබුණු පණිවිඩයකින් දැනගැනීමට ලැබුණේ සැකකරුවන් කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මියගේ නිල නිවසට ඉදිරිපත් කළ බවකි.   


රහස් පොලිස් නිලධාරීහු සැකකරුවන් දෙදෙනාගේ සාක්කි සම්පිණ්ඩන සහිතව සකස් කළ වාර්තාවක් මහේස්ත‍්‍රාත්වරිය වෙත ඉදිරිපත් කරමින් සිද්ධිය පිළිබඳව තොරතුරු වාර්තා කළහ. සැකකරුවන් පොදු දේපළ පනත යටතේ, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ සහ 1937 අංක 07 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි සිදු කොට ඇති බව දැනුම් දුන්හ. 

 
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් මහ බැංකුවේ අධිපතිවරයාව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතා චේතාන්විතවම කොන්දේසි කඩ කරමින් මහ බැංකු භාරය පිළිබද විශ්වාසය කඩකර රාජ්‍ය මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණයකට ලක් කර ඇතැයි කීය.   
මින් රජයට රුපියල් මිලියන 668ක පාඩුවක් සිදුවී ඇති බවට තක්සේරු ඉදිරිපත් වී ඇති බවත් සමාගමේ ගිණුම්වල මේ වෙනවිට ප‍්‍රශ්නගත රුපියල් බිලියන 9.1ක් රඳවාගෙන ඇති බවත් සම්පූර්ණ අලාභය එය ඉක්මවිය හැකි බවට කොමිසම අනාවරණය කර ගෙන ඇති බවත් සඳහන් කළ කෝදාගොඩ මහතා එම සමාගම 2015, 2016 යන වර්ෂවලදී රුපියල් බිලියන 11.5ක ශුද්ධ ලාභයක් උපයා ඇතැයිද සඳහන් කළේය.   


මෙම සිද්ධියේ සැකකරුවකු වන අර්ජුන් අලෝසියස්ගේ මාමණ්ඩිය වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්ගෙන් ලබාගත් බැඳුම්කර ගණුදෙනු වලට සංවේදී තොරතුරු මත පදනම්වී සැකකරුවන් මෙම පැමිණිල්ලට පාදක වු අපරාධය සිදු කොට ඇති බවත් මින් රජයට විශාල පාඩුවක් සිදුවී ඇති බව මෙන්ම ඒ බව සනාථ කිරීමට තොරතුරු ඇති බවද ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.   


සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් දෙදෙනාට පොදු දේපළ පනත යටතේ හෝ දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ හෝ චෝදනා ඉදිරිපත් කළ නොහැකි හෙයින් ඔවුන් දෙදෙනාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටි අතර අධිකරණයෙන් ලැබුණු නියෝගයකට අනුව සැකකරුවන්ට ඇප ඉල්ලමින් පසුගිය 07 වැනිදා ලිඛිතවද කරුණු ඉදිරිපත් කළ අතර සැකකරුවන්ට ඇප නියම නොකරන්නැයි ඉල්ලමින් පැමිණිලි පාර්ශ්වයෙන් පසුගිය 09 වැනිදා අධිකරණයට ලිඛිතව කරුණු ඉදිරිපත් කෙරුණු අතර සැකකරුවන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් වු නියෝගය ලබන 16 වැනිදා ප‍්‍රකාශ කිරීමට නියමිතය.   


මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති එච්.ඒ. කරුණාරත්න, අධ්‍යක්ෂ තොරතුරු ඩී.එන්. කුමාරිහාමි, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරී උපුල් ලතා මුතුගල, එහි අතිරේක අධිකාරී ආචාර්ය එම්.එම්. ආසිම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරී ටී.එම්.බී. සරත්චන්ද්‍ර, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ වැඩබලන අතිරේක රාජ්‍ය ණය අධිකාරී ආර්.ඩී.ටී. ගුණසේකර, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නුවන් තිළිණ සල්ගාදු, ශ්‍රී ලංකා මහ බැංකුවේ අතිරේක අධ්‍යක්ෂ දේශීය මෙහෙයුම් චන්දන අජිත් අබේසිංහ, බැංකු නොවන මූල්‍ය ආයතන අධ්‍යක්ෂ අමිල සංජිව යන අයවලුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇත.   


පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ දුරකතන සංවාද හඬ පටිගත වීම සඳහා ස්ථාපිත කර තිබූ ‘වොයිස් ලොගර්’ පද්ධතියෙන් පටිගතව තිබූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප‍්‍රධාන ගනුදෙනුකාර නුවන් තිළිණ සල්ගාදු විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද ඩී.වී.ඩී. තැටිවල පිටපත් ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් සුමතිපාල උඩුගම්සූරිය මහතාගේ ප‍්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව රහස් පොලිසිය බාරයට ගෙන ඇති අතර එම සංවාද වලට සවන්දීමේදී එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන විසින් සහ සමගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් අතර 2016 මාර්තු මස 29 වැනි දින පවත්වන ලද දුරකතන සංවාද වලදී අර්ජුන් ඇලෝසියස්ට මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළ සංවේදී රහස්‍ය අභ්‍යන්තර තොරතුරු ලැබී ඇති බව හෙළි විය.   


රහස් පොලිසිය මෙතෙක් සිදුකළ විමර්ශනවලදී 2015 පෙබරවාරි මස 27 දින පැවැති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් බිලියන 5ක භාණ්ඩාගාර බැඳුම්කර ද, 2016 මාර්තු මස 29 වැනි දින පැවැති වෙන්දේසියේ දී රුපියල් බිලියන 26.6ක භාණ්ඩාගාර බැඳුම්කර ද, 2016 මාර්තු මස 31 වැනි දින පැවැති වෙන්දෙසියේ රුපියල් බිලියන 15.6 ක බැඳුම්කර ද මිලදී ගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර මීට අමතරව 2015 පෙබරවාරි මස 27 වැනි දින වෙන්දේසියේදී ලංකා බැංකුව හරහා එම සමාගම් රුපියල් බිලියන 3 ක භාණ්ඩාගාර බැඳුම්කර ලබා ගෙන ඇති බවද හෙළි කරගෙන තිබිණි.   


භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කොට විභාග කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිසන් සභාවේ සාක්කි විභාග වෙන අවස්ථාවේදී එහි අනාවරණය වූ සාක්ෂි විනාශ කිරීමේ සහ සැඟවීමේ ප‍්‍රයත්නයක් ගැන රහස් පොලිසියට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන්ද පරික්‍ෂණ ආරම්භ කොට ඇත.   


ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් 2015 පෙබරවාරි මස 29 වැනි දින සිට මැයි මාසය දක්වා කාල පරිච්ෙඡ්දය තුළ සිදුකර තිබුණු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබද විශේෂ විගණන වාර්තාවක් රජයේ විගණකාධිපති විසින් සකස් කර ඇති අතර එහි නිගමන යටතේ 2015.02.27 සහ 2016.03.29 දින පැවැති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි දෙකේ දී පිළිවෙලින් රුපියල් 889,358,050.00 ක සහ රුපියල් 784,898,755.00ක සම්පුර්ණ එකතුව රුපියල් 1,674,256,805.00 ක ඇස්තමේන්තු ගත අවාසිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව බලධාරීන් වගකිව යුතු බවටද වාර්තා වී ඇත.   


මෙම සිද්ධිය පිළිබඳව මෙහි පළමු සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව කියමින් කළ දැනුම් දීමක් පිළිගත් මහේස්ත‍්‍රාත්වරිය ලබන 15 වැනිදාට පෙර ශ්‍රී ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසට ඉංග්‍රීසි භාෂාවෙන් මහෙන්ද්‍රන් මහතාට නොතීසියක් නිකුත් කළ අතර, එහි පිටපතක් සිංගප්පූරු ජාත්‍යන්තර පොලීසිය වෙතද යොමු කරන ලෙසටද නියම විය.   


ඒ සඳහා ඇත්තේ තව දින 04කි. අපි බලමු හෙට දවස වන විට බොහෝ දේ සිදු වීමට හැකියාව තිබේ.

සටහන - මනෝප‍්‍රිය ගුණසේකර