බාධා තුනක් මතුවී පුංචි ඡන්දය මාර්තුවට කල්යයි?


(අජන්ත කුමාර අගලකඩ)  
පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය දක්වා කල්යාමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට රජය මුලින් අදහස් කර තිබුණද පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ගැසට් කිරීම ප්‍රමාද වීමත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ගණන වැඩි කිරීමට සිදුවීමත් මත මැතිවරණය කල්යනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.  


මැතිවරණය ජනවාරි මස 20 වැනිදා පැවැත්වීමට නම් පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාවට අදාළ ගැසට් නිවේදනය ඉකුත් 19 වැනිදා වනවිටත් විෂය භාර ඇමැතිවරයා ප්‍රකාශයට පත්කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබිණි.  


එහෙත් සභික සංඛ්‍යාව ගැසට් කිරීම ගිය සතියේද සිදුනොවූ බැවින් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක් අලුතින් ස්ථාපනය කරන්නට සිදුවීම යන කාරණා මත මැතිවරණය පැවැත්වීම පෙබරවාරි හෝ මාර්තු මාසය දක්වා කල්යනු ඇතැයි වාර්තා වේ.  


මේ අතර නාමයෝජනා බාරගෙන මැතිවරණය කල් දැමූ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තුව යන ප්‍රාදේශීය සභා දෙකේ නාමයෝජනා අවලංගු කර මැතිවරණය නව ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීම සඳහා නව පනතක් ගෙන ආ යුතු බැවින්ද මැතිවරණය කල් යනු ඇතැයි වාර්තා වේ.