බස්නාහිර සභාවේ ලොක්කන්ට ලක්ෂ 13ක රූපවාහිනී කට්ටලයක්


(මුදිතා දයානන්ද)  

ලක්ෂ හය හමාරේ පුටුවලින් ​නොනැවතී බස්නාහිර පළාත් සභාව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ හා ධූරධාරින්ගේ කාර්යාල කාමරවලට එක් කට්ටලයක් ලක්ෂ දහතුන බැගින් වන පරිදි රූපවාහිනියක් සමග මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් සහ අද‌ාළ උපකරණ කට්ටල ද‌ාසයක් ඇණවුම් කර ඇතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ ජනක වැලිවත්ත මහතා ඉරිද‌ා ලංකාදීපයට පැවසීය.  


මෙම සන්නිවේදන උපකරණ කට්ටලවලින් පහක් දැනටමත් ගෙන්වා ඇති බව ද ඊට අඟල් 72ක රූපවාහිනී යන්ත්‍රයක් ද ඇතුළත් බව ද ඉතිරි කට්ටල ඉදිරියේ දී ලැබීමට නියමිත බව ද මේ උපකරණ කට්ටලයකට​ මෙතරම් අධික මුදලක් වැය නොවන අතර මේවා ද එකිනෙකා අතර හුවමාරු වන කොමිස් කුට්ටි අනුව සිදුවන ගනුදෙනු බව ද වැලිවත්ත මහතා වැඩිදුරටත් පැවසීය.  


මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියා සිටියේ මෙම උපකරණ කට්ටල ගෙන්වන්නේ කමිටු කාර්යාල කාමරවලට වන බව ද ඒ ප්‍රමාණය සම්බන්ධයෙන් තමන්ට හරියටම අදහසක් දැක්විය නොහැකි නමුත් උපරිම වශයෙන් කට්ටල අටක් විය හැකි බවය. එහි වටිනාකම ගැන නම් තමන්ට අදහසක් දැක්විය නොහැකි බව ද යසරත්න මහතා පැවසීය.