බස් රථවලින් කප්පම් ගැනීම් කෝටි 240ක්


- පෞද්ගලික බස් හිමි සංගමය   

(මහින්ද නිශ්ශංක)   

පෞද්ගලික බස් රථවලින් කප්පම් ගැනීම නතර කිරීමට ආණ්ඩුව මෙතෙක් පියවර නොගැනීමෙන් බස් හිමියන්ට වසරකට රුපියල් කෝටි 240ක් අහිමි වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.   

පෞද්ගලික බස් රථවලින් කප්පම් ගැනීම සම්බන්ධව ඉකුත් ආණ්ඩුවේ බලධාරීන්ට මෙන්ම මේ ආණ්ඩුවට ද අවස්ථා ගණනාවක දී තම සංගමය මගින් දැනුම් දුන්න ද මෙතෙක් පියවර නොගැනීම කනගාටුවට කරුණක් බව ද පෙන්වා දෙන සභාපති ගැමුණු මහතා ඒ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද දැනුවත් කර ඇතැයි ද කීය.   


කප්පම් ගැනීම තවදුරටත් ක්‍රියාත්මකවීම තුළ පෞද්ගලික බස් රථ ව්‍යාපාරය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට පත්වීමෙන් මේ වසර අවසානය වන විට බස්රථ ව්‍යාපාරය බරපතළ කඩා වැටීමකට පත්වීම වැළැක්විය නොහැකි බව ද හෙතෙම පැවසීය. 

 
මේ අතර පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් ගෙන් පසුගිය වසර හය තුළ දී 20%ක් ඉවත් වී විකල්ප වාහනවලට යොමු වී ඇති බවත් පැවැසූ ගැමුණු විජේරත්න මහතා මාර්ග තදබදය නිසා ගමන්වාර අහිමිවීමෙන් කෙටිදුර සේවා දෛනික ආදායම 20%කින් අඩුවෙන බව ද අමතරව මගීන් ප්‍රවේශපත්‍ර නොගෙන බස්වල ගමන් කිරීමෙන් හා බස් සේවකයන් වංචා කිරීමෙන් බස් හිමියෙකුට දෛනිකව සියයට 25ක ආදායමක් අහිමි වන බව ද කීය.  


ගුණාත්මක බස් සේවාවක් මගීන්ට ලබාදීමට බස් හිමියන් විශාල උනන්දුවකින් හා කැපවීමෙන් කටයුතු කළ ද ප්‍රවාහන බලධාරීන්ගෙන් කිසිදු සහායක් නොලැබීම පෞද්ගලික බස්රථ කර්මාන්තය කඩාවැටීමට ප්‍රධාන හේතුවක් බව ද ගැමුණු මහතා පැවසීය.