බස් රථ ආනයනයේදී මගී පහසුවට මුල්තැන


(දයාසීලි ලියනගේ)  

මින් ඉදිරියට මෙරටට ආනයනය කරනු ලබන මගී බස් රථවල ප්‍රමිතිය නීතිගත කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.  

පාපුවරුව පහළින් පිහිටි හා පහසුකම් සහිත බස් රථ මගී ජනතාවගේ පහසුව සඳහා යෙදවීමට බස්වල ප්‍රමිතිය නීති ගත කිරීමට තීරණය කර අැතැයි ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා කීය.  


මේ වසර අවසාන වීමට පෙර මෙම නීති ක්‍රියාත්මක කරනු ලබන අතර මූලික පියවර වශයෙන් බස් රථ 500ක් ගෙන්වීමට ආයෝජකයන් සමඟ සාකච්ඡා කරනු ලබන බවද ඇමැතිවරයා කීය.  


දැනට බස් රථ 5500ක් දිනකට ධාවනය වෙන අතර එයින් අවුරුදු 2 කට වැඩි කාලයක් පාවිච්චි කර ඇති බස් රථ සංඛ්‍යාව 36ක් බවද ඔහු ප්‍රකාශ කළේය.  


අවුරුදු 5ට අඩු බස් රථ 2200ක්ද අවුරුදු 5ත් 10ත් අතර කාලයක් ඇති බස් රථ 1500ක්ද අවුරුදු 10ත් 20ත් අතර කාලයක් ඇති බස් රථ 1000ක්ද ධාවනය වෙන බව ඔහු ප්‍රකාශ කළේය.   


වර්ෂ 2014න් පසු ගමනාගමන මණ්ඩලයට බස් රථ ගෙනැවිත් නැති බවද ඔහු කීය.  


මේ සිංහල අවුරුද්දේ ගමනාගමන මණ්ඩලය කෝටි 10 ක ආදායමක් ලබා තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.