බස් ගාස්තු වැඩිවීමත් සමග මගීන් විකල්ප ගමන් සොයාගෙන


 

(මහින්ද නිශ්ශංක)  
බස් ගාස්තු වැඩිවීම මගී ජනතාවට දරාගත නොහැකි බවත් බස් ගාස්තු වැඩිවෙන්න වැඩිවෙන්න මගීන් පෞද්ගලික බස්රථවල ගමන් කිරීමෙන් ඉවත්වෙන බවත් මේ අනුව බස්රථ වලින් දිනකට ඉවත්වන මගී සංඛ්‍යාව 1500ක් පමණ වන බවත් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.  


බස් ගාස්තු වැඩිවීමෙන් මගී ජනතාවට සිදුවන දැඩි අපහසුතාවයත් පෞද්ගලික බස් කර්මාන්තයට සිදුවන කඩාවැටීමත් සැලකිල්ලට ගෙන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මේ වසරෙන් අවසන් කළ යුතු බවත් එසේ නොවුවහොත් දැනට දිනකට බස්වලින් ඉවත්වන 1500ක් පමණ වන මගී සංඛ්‍යාව ලබන වසරේදී 2000ක් දක්වා වැඩිවන බවද ගැමුණු මහතා කීය.  


විශේෂයෙන් පෞද්ගලික බස් කර්මාන්තය කඩාවැටෙමින් පවතින බවත් පෙන්වා දෙන සංගමයේ සභාපතිවරයා බස් ගාස්තු මිල සූත්‍රය වහා නවතා බස් ගාස්තුව වෙනුවට බස්රථ ධාවනය කෙරෙහි කිලෝ මීටර සංඛ්‍යාව අනුව ගෙවීමක් කරන ලෙස සංගමය රජයට යෝජනා කරන බවද පැවැසීය.  


මෙවර සියයට 6.28ක් වන බස් ගාස්තු වැඩිවීමට අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු වැඩිවීම ද ජනතාවට දරාගත නොහැකි බවත් පෙන්වා දෙන සභාපති ගැමුණු මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාස්තුවල සංශෝධනයක් විය යුතු බවද බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව අධිවේගී මාර්ගයේ බස් ගාස්තු සකස් වී නැති බවද කීය.