බස් ගාස්තු නැංවූ පසු මගී සංඛ්‍යාව අඩුවෙලා


(මහින්ද නිශ්ශංක)   

බස් ගාස්තුව සියයට 12 1/2කින් වැඩි කිරීමෙන් පසු පෞද්ගලික හා ලංගම බස්වල ගමන් කරන මගී පිරිස සියයට 10කට වඩා අඩු වී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.   

සාමාන්‍යයෙන් දිනකට බස්වලින් ඉවත් වෙන මගී සංඛ්‍යාව 2000ක් පමණ වෙතැයි ද පැවැසූ ගැමුණු මහතා මෙවර බස් ගාස්තු වැඩි කිරීමෙන් අනතුරුව දුම්රියේ ගමන් කරන මගීන්ගේ සංඛ්‍යාව සියයට 10කින් පමණ වර්ධනය වී ඇති බවත් කීය.   


2015 සිට 2017 දක්වා වසරතුන තුළ බස් ගාස්තු වැඩිවීම හේතුවෙන් ලක්ෂ 25ක මගී පිරිසක් බස්වලින් ඉවත් වී ඇති බව මහා බැංකු වාර්තාවලින් හෙළි වී ඇතැයි පෙන්වා දෙන ඒ මහතා ඉවත් වූ එම මගීන් විකල්ප වාහනවලට හා කාර්යාල බස් සේවාවලට එක් වී ඇතැයි ද පැවැසීය.   


බස් ගාස්තු වැඩිවීමෙන් පසුව බස්වල ගමන් කරන මගීන් ඉවත්වීමත් සමග මෙම වසර තුළ විශේෂයෙන් ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ලියාපදිංචිය ඉහළ ගොස් ඇති බවත් පැවසූ සභාපති ගැමුණු මහතා කාර්යාල බස් සේවාව සියයට 25 ක් දක්වා වර්ධනය වී ඇති බවත් කීය.