බලාගාර ගනුදෙනුවෙන් ව්‍යාපාරිකයාට හොද්ද බොරවේ


(දයාසීලි ලියනගේ)  

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට අයත් විදුලි බලාගාරයකින් විදුලිය මිලදී ගැනීම සඳහා මසකට රුපියල් කෝටි 15 බැගින් වසර 3 කට විදුලිය ලබා ගැනීමේ ගිවිසුමකට ලංකා විදුලිබල මණ්ඩලය අත්සන් තබා ඇතැයි වාර්තාවේ.  
මීට අමතරව මාසිකව ලබාගන්නා විදුලිය සඳහා ඒකකයට රුපියල් 25ත් 40ත් අතර මුදලක් ගෙවිය යුතුව ඇත.  

විදුලිය ලබා ගත්තත් නැතත් ගිවිසුමට අනුව මාසික කුලිය ගෙවිය යුතුව ඇති බවද සඳහන්වේ. පෞද්ගලික විදුලි බලාගාරයක් පිහිටුවීමේ දී ලබාගන්නා ණය මුදල් පියවීම සඳහා මණ්ඩලය මුදල් ගෙවනු ලබන අතර ඒ යටතේ මෙම විදුලි බලාගාරයට මීට පෙර ගිවිසුමෙන් රුපියල් කෝටි 300ක මුදලක් ගෙවා තිබිණි. එසේ ගෙවා තිබියදී දෙවැනි වරටත් මාසයකට කෝටි 15 බැගින් ගෙවීමට ගිවිසුම් අත්සන් කර ඇත. විදුලි බල පනතට පටහැනිව මෙම ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අනිද්දා (7) කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.