බන්ධනාගාර නියාමක තනතුරු බඳවා ගැනීම හොර පාරෙන් යන හැඩ


(ජයන්ත සමරකෝන්)   

බන්ධනාගාර නියාමක පුරප්පාඩු 1200ක් සඳහා පවත්වනු ලැබූ විවෘත තරග විභාගයේ ප්‍රතිඵල ප්‍රමාදය මුවාවෙන් එම තනතුරු සියල්ල දේශපාලන පත්වීම් ලෙස පිරිනැමීමේ සූදානමක් පවතින බව බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි.   

හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවන් ඉදිරිපත් කිරීමට යන බව ද පැවසේ.   


ඒ සඳහා සෑම මන්ත්‍රීවරයකුටම 5 දෙනකු බැගින් ලබාදීමට අවස්ථාවක් සැලසෙන බව ද දැන ගන්නට තිබේ.  2016 වසරේ සිට මෙම පත්වීම් ලබාදීම මෙම සිද්ධියත් සමඟම දෙවතාවක් වැළකී ගොස් ඇතැයි ද කියති.   


2016 වසරේ දී තෝරාගත් අයැදුම්කරුවන් 1184 දෙනකුට පත්වීම් ලබාදීමට ගිය අවස්ථාවේ දී බඳවා ගැනීමේ පටිපාටිය අනුගමනය කර නැති බවට චෝදනා කොට අධිකරණ අමාත්‍යාංශය විසින් නැවතත් එම තනතුරු ඇබෑර්තු 1200ක් සඳහා ගැසට් පත්‍රයේ පළ කරනු ලැබීය.   


ඊට අයැදුම්කරුවෝ 16,337 දෙනෙක් ඉදිරිපත් වූ අතර 2019.07.15 දින විවෘත තරග විභාගය පවත්වනු ලැබීය.  මේ දක්වා විභාග ප්‍රතිඵල නිකුත් වී නොමැති අතර බඳවා ගැනීම් මේ දක්වා සිදු නොකිරීමෙන් පුරප්පාඩු සංඛ්‍යාව 1500 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ.