බදු අඩු නොකළොත් පාන් 10 කින් ඉහළට


(මහින්ද නිශ්ශංක)  

පාන් සඳහා දැනට අය කෙරෙන සියයට 2ක ජාතිය ගොඩනැගීමේ බද්ද සහ අනෙකුත් බේකරි නිෂ්පාදන සඳහා අය කෙරෙන සියයට 17 ක බදු වහා ඉවත් නොකළොත් පාන් මිල රුපියල් 10 කින් වැඩිකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.  

බේකරි නිෂ්පාදන සඳහා යොද‌ාගන්නා අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ යාම, අමුද්‍රව්‍ය සඳහා අධික ලෙස බදු අයකිරීම, බේකරි කර්මාන්තය සඳහා රජයෙන් සහන නොලැබීම හේතුවෙන් බේකරි කර්මාන්තය පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් උද‌ා වී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවැසීය.  


බේකරි කර්මාන්තයට අත්වී තිබෙන තත්ත්වය හා බදු ඉවත්කර සහන සලසන ලෙස සංගමය මගින් ජනාධිපති, අගමැති, මුදල් ඇමැති ඇතුළු වගකිවයුතු සියලු පාර්ශ්ව දැනුවත් කර ඇතැයි ද සභාපති ජයවර්ධන මහතා කීය.  
මේ වන විට ආනයනික අමුද්‍රව්‍ය සඳහා සියයට 200 ක බදු අයකරන අතර මාගරින් කිලෝවක් සඳහා රුපියල් 215 කද, පාම්තෙල් සඳහා රුපියල් 12 ක්ද, බටර් සඳහා රුපියල් 600 ක්ද අධික බදු අයකරන බවත් පවසන ඒ මහතා බේකරි නිෂ්පාදන සඳහා යොද‌ාගන්නා අර්තාපල්, ලොකු ලූනු, බිත්තර, සැමන් යන භාණ්ඩවල මිල දිනෙන් දින ඉහළ යාම ද බේකරි කර්මාන්තයට විශාල ලෙස බලපා ඇතැයි පැවසීය.