පෞද්ගලික බස් රථවල ඡන්ද ප්‍රචාරණ තහනම්!


(මහින්ද නිශ්ශංක)   
මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු සඳහා පෞද්ගලික බස්රථ භාවිතා කිරීම සහ යොදා ගැනීම දේශපාලන පක්ෂවලට සම්පූර්ණයෙන්ම තහනම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.   

ඒ අනුව මැතිවරණයට තරග කරනු ලබන කිසිදු අපේක්ෂකයෙකුගේ ඡායාරූප දැක්වෙන පෝස්ටර්, ස්ටිකර් බස්රථ තුළ හා පිටත ඇලවීම, ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු අතර බස් රථවල තිබෙන කැසට් හා රූපවාහිනි යන්ත්‍ර මගින් ද අපේක්ෂකයින්ගේ සහ පක්ෂවල ප්‍රවර්ධන කටයුතු කිරීම තහනම් බවද සභාපති ගැමුණු මහතා කීය.   


තම සංගමයේ තහනම නොතකා බස්රථවල ඡන්ද පෝස්ටර්, ස්ටිකර් අලවන හා ප්‍රදර්ශනය කරන දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට ද සංගමය පියවර ගෙන අැතැයි පවසන ගැමුණු විජේරත්න මහතා බස්රථවල ඡන්ද පෝස්ටර්, ස්ටිකර් අලවන පුද්ගලයින් හා අපේක්ෂකයින් පිළිබඳව 0112825948 යන සංගමයේ දුරකතන අංකයට වහා දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින බවද පැවැසීය.   


මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම අනුව මෙවරද පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථානවලට ප්‍රවාහනය කිරීම සඳහා පෞද්ගලික බස්රථ 1500ක් පමණ ලබාදීමට කටයුතු යොදා ඇතැයි ද ඒ මහතා කීය.