පොහොට්ටුවේ සෑම අපේක්ෂකයකුගේම එක් රැලියකට ජනපති ගොඩවෙයි


(අජන්ත කුමාර අගලකඩ)  

මහා පරිමාණ ඡන්ද ප්‍රචාරක රැලි පැවැත්විය නොහැකි බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන්ගේ එක් ජන හමුවකට බැගින් සහභාගිවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. ඒ අනුව ජනාධිපතිවරයා පොහොට්ටුව ලකුණින් තරග කරන සෑම අපේක්ෂකයකුගේම එක් ජනහමුවකට බැගින් සහභාගි වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු​ණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.  

ශ්‍රී ලංකා ​පොදුජන පෙරමුණෙන් තරග කරන පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය යන සියලුම අපේක්ෂකයන්ගේ ජනහමුවලට ජනාධිපතිවරයා ඒ අනුව සහභාගිවෙනු ඇත. 


ජනාධිපතිවරයා ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් පෙරේදා (03) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ සියලුම අපේක්ෂකයන්ගේ ජනහමුවලට සහභාගි විය. ඒ අනුව ඉදිරියේ දී අනෙකුත් දිස්ත්‍රික්කවල අපේක්ෂකයන්ගේ ජනහමුවලට ජනාධිපතිවරයා සහභාගි වෙන බව බැසිල් රාජපක්ෂ මහතා කීවේය.