පොහොට්ටු-ශ්‍රීලනිප සන්ධානයබැසිල් එනතුරුකල්යයි


මහ ඡන්දයට සැරසෙති

(අජන්ත කුමාර අගලකඩ)   

ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඇතුළු පක්ෂ ගණනාවකුත් එක්ව පිහිටුවීමට යෝජිත දේශපාලන සන්ධානය පිහිටුවීමේ කටයුතු දැනට විදේශගතව සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා යළි පැමිණෙන තෙක් කල් ගොස් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.   

බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් මස මැද දී පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාව බලා පිටත්ව ගිය අතර ඔහු මේ සතියේ දී යළි පැමිණීමට නියමිතව ඇති බව ද එම ආරංචිමාර්ග පවසයි.   


බැසිල් රාජපක්ෂ මහතා විදේශගතව සිටි පසුගිය මාසයකට අධික කාලය තුළ නව දේශපාලන සන්ධානය පිහිටුවීමට අදාළව දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් හෝ කර නැතැයි ද වාර්තාවේ.   


එළැඹෙන මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කළ සෙසු පක්ෂත් එක්ව තරග කිරීමට ඉකුත් ජනාධිපතිවරණයට පෙර එකඟතාවක් ඇතිකර ගත් අතර ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටුවීමට ද යෝජනා විය.   


මේ අතර මහ මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණේ ලකුණ වන පුටුව ලකුණින් තරග කිරීමට ද දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණි නමුත් පොහොට්ටුව ලකුණින්ම මහ ඡන්දයට ඉදිරිපත් විය යුතු බවට පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමැතිවරුන් කිහිප දෙනකුම රජයට යෝජනා කර ඇත.  බැසිල් රාජපක්ෂ මහතා මේ සතියෙ පැමිණීමත් සමඟ නව දේශපාලන සන්ධානය පිහිටුවීම හා මැතිවරණයට තරග කරන ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව ද පැවැසේ.   


වත්මන් පාර්ලිමේන්තුවට ලබන මාර්තු මස 1 වැනිදා වනවිට වසර හතර හමාරක් සම්පූර්ණ වන බැවින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයා විසින් මාර්තු මස 2 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිතව ඇත. 

 
ඒ අනුව මහ මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වැනිදා හෝ අප්‍රේල් මස අග සතියෙ පැවැත්වීමට නියමිතව ඇති බව ද මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචිමාර්ග කියයි.