පී.සී.ආර්. ප්‍රතිඵල එනතුරු පෑලියගොඩ පොකුරේ හැටදාහක් ගෙවල්වලම


(දයාසීලි ලියනගේ)   

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ කොරෝනා පොකුරේ නිවාස නිරෝධායනයේ යෙදී සිටින 60,000 කට ආසන්න පිරිසක​ගේ පී.සී.ආර්. පරීක්ෂණ අවසන් වනතුරු ඔවුන් සමාජ ගත නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.   

මෙයින් 20,000 ක පමණ පිරිසක් පළමු පෙළ ආශ්‍රිතයන් වන අතර නිවාස නිරෝධායනයට ​යොමු කළ මේ සියලු‍ම දෙනාගේ සති දෙකක නිරෝධායන කාලය ඉදිරි දින කීපයේදී අවසන් වුවත්, පී.සී.ආර්. පරික්ෂණ පැවැත්වෙන තුරු ඔවුන් සමාජයට මුදා හැරීම බරපතළ තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග පැවැති සාකච්ඡාවකදී පෙන්වා දුන් බව එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලු‍ත්ගේ මහතා කීය.   


මේ අය අතර ආසාදනය වූ අය සිටියොත් යළි තත්ත්වය බරපතළ විය හැකි වන අතර එසේ වුවහොත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන් දැඩි අසීරුතාවකට මුහුණ පාන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.   


වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදාළ කරුණු පෙන්වා දීමෙන් පසු නිවෙස් වල නිරෝධායනය වන අය පී.සී.ආර්. පරික්ෂණයට යොමුකර වාර්තා එනතුරු සමාජ ගත නොකිරීමේ ජාතික මාර්ගෝපදේශයක් ප්‍රකාශ කිරීමට එකඟ වූ බවද වෛද්‍ය හරිත අලු‍ත්ගේ මහතා පැවසීය.