පිළිකා ඖෂධයකට දොස්තර - අමාත්‍යංශ කඹ ඇදිල්ල


 

ජනතාවට වඩාත්ම සමීප සේවාවක් ලෙස සෞඛ්‍ය සේවාව හැඳින්විය හැකිය. එහෙත් සෞඛ්‍ය සේවය හා බැඳුණු ඖෂධ සැපයීමේ සේවාව ඉතාමත්ම නරක අන්දමින් මාෆියාවක් බවට පත්ව ඇති බව නොකියා බැරිය. 


ඉහළ සිට පහළට බොහෝ දෙනා මේ මාෆියාව හා සම්බන්ධව සිටිති. එහිදී රෝගියා පිළිබඳව නොව තම මඩිස්සලය පිළිබඳව පමණක් සිතා කරන ව්‍යාපාර හේතුවෙන් මේ වන විට රෝගී ජනතාව අනතුරේ වැටී සිටින්නේ ඉතා භයානක අන්දමිනි. 


මේ වනවිට රට පුරා පැතිර ඇති බෝ නොවන රෝග අතර පිළිකාව ප්‍රධාන තැනක් ගනී. පිළිකා අතර බහුලවම පවතින පියයුරු පිළිකා සඳහා වන ඖෂධයක් ගෙන්වීමේ දී සිදුකර ඇති දූෂණයක් පිළිබඳව හෙළි කිරීමකි මේ. 


ට්‍රස්ටුසුමැබ් පියයුරු පිළිකා මැඬලීම සඳහා දෙනු ලබන එන්නතකි. ජීව මොළකියුලයක් වන එය පියයුරු පිළිකාවක ආරම්භක අවදියේ දී ලබාදීමෙන් පිළිකාව සුව කළ හැකිය. 


 මෙම ඖෂධය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත සපයනු ලැබුවේ රෝච් නමැති සමාගම විසිනි. එහි වෙළෙඳ නාමය හර්සෙප්ටින් නම් විය. ඉකුත් වසර වන තුරුත් එම ඖෂධයේ ඒකාධිකාරියක් විය. මෙම ඒකාධිකාරිය බිඳිමින් මෙකී ඖෂධය ගෙන්වීමට ටෙන්ඩර් කැඳවීමට සෞඛ්‍ය අංශ තීරණය කළේය. 


ඒ අනුව එන්නත ගෙන්වීම සඳහා වූ ටෙන්ඩරය කැඳවනු ලැබුවේ ඉකුත් වසරේ අගෝස්තු 22 දින දීය. ඒ සඳහා සමාගම් හයක් මිල ගණන් ඉදිරිපත්  කර තිබුණි. රුසියාවෙන් ගෙන්වන ඖෂධය සඳහා එනම් හර්ටිකැඞ් නම් වෙළෙඳ  නාමයෙන් යුතු ඖෂධය සඳහා අඩුම මිල ඉදිරිපත් කර තිබිණි.


ඒ වන විටත් සපයමින් තිබු හර්සෙප්ටින් ගෙන්වන සමාගම හතරවැනි අඩුම මිල ගණන ඉදිරිපත් කර තිබු අතර අර්බුදය පැන නැගුණේ අඩුම මිල ගණන ඉදිරිපත් කළ සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කිරීමට යාමේ දීය. 


සාමාන්‍යයෙන් පිළිකා ඖෂධයක් සම්බන්ධ ටෙන්ඩරයක දී පිළිකා වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලීජිය මඟින් :ීරස ඛ්බන් ක්‍දකකැටැ දf ධබජදකදටසිඑි* අදාළ ඉදිරිපත්  කරන ඖෂධවල සායනික ප්‍රතිඵල සහිත නිර්දේශ වාර්තාවක් ලබා ගැනීම සිදු කෙරේ. ඒ අනුව මෙම ටෙන්ඩරය පිළිබඳවද එවැනි විමසීමක් කළ යුතුව තිබු නමුත් ජාතික ඖෂධ පාලන අධිකාරියේ නිර්දේශය මත හර්ටිකැඞ් ඖෂධයට ටෙන්ඩරය ප්‍රදානය කෙරිණි. 


පිළිකා වෙද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා කොලීජිය මෙම එන්නතට විරුද්ධ වූයේ හේතු සාධක පෙන්වමිනි. ඒ වනවිටත් හර්ටිසෙප් පිළිබඳ සායනික පර්යේෂණ සිදුව තිබුණේ නැත. එම එන්නත භාවිතා කර තිබුණේ එය නිපදවූ රුසියාවේම රෝගීන් 103 දෙනෙකු සඳහා පමණි. ඔවුන් ද මෙම ඖෂධයේ අවශ්‍යතාවට සරිලන රෝගීන් නොව පිළිකාව උත්සන්න වී සුවකළ නොහැකි තත්ත්වයට පැමිණි පිරිසකි. 


මෙම ඖෂධය දිය යුතු රෝගීන් වන්නේ පිළිකාවක ආරම්භක අවදියේ රෝගීන්ය. ඔවුන්ට එය ලැබෙන්නේ දැයි සැකයක් මතුවේ. එමෙන්ම ඖෂධයක සායනික පරීක්ෂණ වසරකින් කළ හැකි ද?


සායනිකව සුදුසු බවට කිසිදු සාධකයක් ඒ වනවිටත් නොමැති බැවින් ද ලොව කිසිදු රටක භාවිතා කර අත්දැකීම් නැති බැවින් ද මෙම ඖෂධය ප්‍රතික්ෂේප කිරීමට වෛද්‍යවරු තීරණය කළහ. පෙර භාවිත කළ ඖෂධය හා නව ඖෂධය අතර මිල වෙනස රුපියල් 20,000 ක් පමණ වේ. 


එහෙත් ඒ වනවිටත් මෙරට භාවිත කරමින් සිටි හර්සෙප්ටින් එන්නත 1998 සිට 2014 දක්වා රෝගීන් 580ක ගේ සායනික පරීක්ෂාවන්ට ලක් කර තිබිණි. ජීවිතය පතා තමන් වෙත එන රෝගීන් පරීක්ෂාවන් සඳහා යෙදවීමට තමන් සුදානම් නැති බැවින් ගුණාත්මක ඖෂධයක් ලබා දෙන්නැයි වෛද්‍යවරු ඉල්ලා සිටියහ. 


පිළිකා රෝහලේ සේවය කරන වෛද්‍යවරු ඇතුළුව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ගැන කිවයුතු දෙයක් තිබේ. මොවුන් අතරින් බොහෝ දෙනෙක් පෞද්ගලික චැනල් සේවාවන්හි නොයෙදෙති. මන්ද ඒ සඳහා වත් ඔවුන්ට වෙලාවක් නැත. ඔවුහු තම සේවය සපයන්නේ අසරණ රෝගීන් වෙනුවෙන් පමණකි. 


සෞඛ්‍ය බලධාරිහු මේ අදහස් ගණන් ගත්තේ නැත. පිළිකා වෛද්‍යවරුන්ගේ අදහස් නොතකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශ පමණක් ලබාගෙන එන්නත ගෙන්වීම සඳහා ටෙන්ඩරය ප්‍රදානය කෙරිණි. ඒ ඉකුත් වසරේ අගභාගයේ දීය. එපමණක් නොවේ. ටෙන්ඩරය ප්‍රදානය කොට අවසානයේ දේශීය වෙළෙඳ පොළෙන් එම එන්නත් 2800 ක්ද මිලදී ගැනිණි. ඒ සඳහා රුපියල් කෝටි 4 කට ආසන්න මුදලක් වැය කෙරිණි. මේ නිසා එන්නත් 7800 ක් ආණ්ඩුවට විකිණීමට අදාළ සමාගමට අවස්ථාව සැලසිනි. මේ හේතුවෙන් කිසිම උත්සාහයකින් තොරවම ලබන වසරටත් ගැළපෙන තරම් අතිරික්තයක් එම එන්නත් ඇති බැවින් ලබන වසරටත් කිසිවෙකුත් ට්‍රස්ටුසුමැබ් ගෙන්විය යුතු නැත.


රෝගී ජීවිත අනතුරේ හෙළිය නොහැකි  බැවින් තමන් නව ඖෂධය භාවිතා නොකරන  බව වෛද්‍යවරු දැනුම් දුන්හ. එහෙත් ඊට සෞඛ්‍ය අමාත්‍යංශයේ පිළිතුරු වූයේ නව ඖෂධය භාවිතා නොකරන වෛද්‍යවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බවකි. 
මේ හර්ටිකැඞ් පිළිබඳ සිද්ධිය අවසන් නැත. යළි ඊළඟ ටෙන්ඩරය ද ඔවුනටම දෙන්නට සියල්ල සුදානම්ය. මේ කියන සමාගමට මේ වසරට පමණක් ප්‍රදානය කර ඇති ටෙන්ඩර වටිනාකම රුපියල් කෝටි 225 කි. 


2015 වසරෙන් පසු අලුතින් ඖෂධ වෙළෙඳාමට එක්වූ සමාගම් කිහිපයක් තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඉහළ නිලයක සිටින පුද්ගලයෙකුගේ සහෝදරයෙක් මෙකී සමාගම් හතෙහිම සිටින එක් අධ්‍යක්ෂවරයෙකි. මෙකී සමාගම් හතෙහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන පුද්ගලයා  සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ පුටුවක සම්බන්ධකම් මත කටයුතු කරන බව ද  විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.


මෙකී සමාගම් පිළිකා ඖෂධ පමණක් නොවේ, අක්ෂි කාච, ස්ටෙන්ට් ඇතුළු බෙහෝ ඖෂධ හා උපකරණ ගෙන්වීමට ද අත ගසා ඇතැයි අනාගතයේ වාර්තා වනු ඇත. කවුරු මොනවා ගෙන්වුවත් කමක් නැත. අවශ්‍ය  වන්නේ රෝගී ජීවිත රැකෙන පරිදි  කටයුතු කිරීම පමණි. ආසියාවේ හොඳම සෞඛ්‍ය සේවාව ලෙස නම් දරා ඇති මෙරට සෞඛ්‍ය සේවය  තවදුරටත් රැකිය යුතුය.
විනීතා එම්. ගමගේ