පිටකොටුවේ පදික වෙළෙඳ කුටි පුංචි ඡන්දයට ගනුදෙනු වෙනවලු


(ජයන්ත සමරකෝන්)   
එළඹෙන පුංචි ඡන්දය ඉලක්ක කොටගෙන කොළඹ ප්‍රබල දේශපාලනඥයින් 5 දෙනෙක් පිටකොටුව ප්‍රදේශයේ පදික වෙළඳපෙළේ හා පදික වේදිකාව තම දේශපාලන හිතවාදීන් වෙත බෙදාදෙන බව වාර්තා වේ.   

මේ බව ස්වයං රැකියා වෙළඳුන්ගේ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිලි කර ඇත.   


මෙම මැති ඇමැතිවරුන් තම ලිපි ශීර්ෂ යොදාගනිමින් කොළඹ නාගරික කොමසාරිස්වරයා වෙත මෙම කඩකාමර ලබාදෙන ලෙසට ලිඛිතව දැනුම් දී ඇති බවද ඒ මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපියේ දැක්වේ. 

 
පිටකොටුව අඩි 100 පාරේ 468 ස්වයං රැකියා වෙළඳ සංකීර්ණයේ වෙළඳ කුටි ගණනාවක්ම මේ වනවිට ලබාදී ඇති බවද එම ලිපියෙන් පෙන්වා දී ඇත. 

 
මේ පිළිබඳව කරන ලද විමසීමේදී කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා පැවසුවේ දේශපාලනඥයින් ඇතුළු බොහෝ දෙනෙකුගෙන් එවැනි ඉල්ලීම් පිළිබඳ ලිපි ලැබෙන බවය.  එහෙත්, ඒ කිසිදු දේශපාලන බලපෑමකට යටත් නොවන බවත්, නගර සභාවට අයත් පදික වේදිකාව හෝ වෙළඳ සංකීර්ණ විකිණීමට කිසිවෙකුටත් නොහැකි බවත්ය.