පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන ඇතැමුන් තවත් කළු ජූලියකට අර අඳිනවා


රිෂාද් බදියුදීන්

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

මුස්ලිම් ජනතාව අතර තවත් කළු ජූලියක් ඇතිකිරීම සඳහා ඇතැමුන් උත්සාහ දරමින් සිටින බවත් එය වළක්වා ගැනීම සඳහා සිය තනතුරින් ඉවත් වූ බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.  

තමන් කිසි විටෙකත් විශ්වාසභංගයකට බිය නොවන බවත් තමන්ට එරෙහිව චෝදනා එල්ල කිරීම ජාතිවාදී කල්ලියක දේශපාලන උවමනාවක් බව ද ඔහු සඳහන් කළේය. තමන්ට යම් යම් පාර්ශ්ව විවිධ චෝදනා නගන බවත් ඒවා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ලබා දී නැතැයි ද ඔහු අවධාරණය කරයි.  


මුස්ලිම් නායකයන් බුද්ධි අංශ වෙත තොරතුරු ලබා දී තිබියදීත් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම පිළිබඳ කනගාටුවන බව ද රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සඳහන් කළේය.  මේ අතර අමාත්‍ය ධුරයෙන් ඉවත්වීම තමන්ට පෞද්ගලික වශයෙන් පාඩු වුවත් රට ගැන සිතා ගත් එම තීරණයට ජනතාවගේ සහාය ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙන බව හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.  තමන් දැරූ අමාත්‍ය ධුරය අයිති තමන්ට නොවන බවත් එය අයිති තමන්ව පත් කළ ඡන්ද ද‌ායකයන්ට බව ද ඔහු අවධාරණය කළේය.  ඒ අතරින් බහුතරයක් සිංහල බෞද්ධ ඡන්ද වුවත් මෙම තීරණය හුදෙක් රට සහ ජනතාව ගැන සිතා ගත් තීරණයක් බවත් ජනතාව තමන් සමග එකඟ වනු ඇතැයි විශ්වාස කරන බව ද ඔහු පැවසීය.  


පසුගිය අප්‍රේල් 21 වැනිද‌ා එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මුස්ලිම් දේශපාලනඥයන් බාධා පමුණුවන බවට චෝදනා එල්ල විය.  
 ඒනිසා එම පරික්ෂණවලට සහාය දැක්වීම සඳහා සිය තනතුරුවලින් ඉවත් වීමට තීරණය කළ බව ද කබීර් හෂීම් මන්ත්‍රීවරයා පැවසීය.